සල රූ කලාවේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම විකාශන (Streaming) සමාගම වන Netflix සහ ඉන්දියාවේ YRF Films සමාගම ගිවිසුමකට එළඹී තිබෙනවා. මෙම සමාගම් අතර සිදුවූ ඓතිහාසික අත්වැල් බැඳ ගැනීම හේතුවෙන්, ඉන්දියාවේ මෙන්ම ලොවපුරා ප්‍රේක්ෂකයින් හට විවිධාකාරයේ චිත්‍රපට සහ වෙබ් කතා මාලා රැසක් රසවිඳීමට හැකි වනු ඇති බව Netflix සමාගම සිය වෙබ් අඩවියෙන් අද නිවේදනය කර තිබුණා.

මෙම සුසංයොගයෙන් එළිදැක්වෙන පළමු නිර්මාණය වන්නේ The Railway Men නම් කොටස් 04කින් සමන්විත වෙබ් කතා මාලාවයි. විකාශන (Streaming) කටයුතු සඳහා නිෂ්පාදන සිදු කිරීම සදහා Yash Raj Films විසින් පිහිටුවනු ලැබූ YRF Entertainment සමාගමේ පළමු නිෂ්පාදනය වන මෙය 1984 වසරේදී ඉන්දියාවේ සිදුවූ ලෝකයේ බිහිසුණුම කාර්මික අනතුර ලෙස හැඳින්වෙන “භෝපාල් ඛේදවාචකයේ” දී අනතුරට පත්වූවන් මුදාගැනීමේ නිරත වූ දුම්රිය සේවකයින් පිරිසක් පිළිබඳ කතාවක් බව වාර්තා වනවා. ආර්. මාධවන්. කෛ කෛ මෙනන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන මෙම වෙබ් කතා මාලාව Dhoom 3, FAN, Befikre වැනි ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශිව් රාවේල් ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ද වනවා.
The Railway Men වෙබ් කතා මාලාවේ පෝස්ටරය

Netflix සහ Yash Raj Films එකතුවෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වෙබ් කථා මාලාවන් සහ චිත්‍රපට කිහිපයක්ම මේ වනවිටත් නිවේදනය කර ඇති අතර, මෙම අත්වැල් බැඳගැනීම ඉන්දියානු චිත්‍රපට කලාව නව මානයකට රැගෙන යනු ඇති.