ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ. 

එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත  සඳහන් කර ඇත.

ඒ අනුව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවූ බව ලේකම්වරයා පවසා තිබේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ,ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.

ඒ අනුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල තිබිණි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබේ.