2022 (2023) අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනය කළේ, www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ය.

2022 වසරට අදාළව පසුගිය මැයි 29 වන දා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්කරුවන් හාරලක්ෂ 72,553 දෙනෙක් පෙනී සිටියහ.

ඒ, පාසල් අයැදුම්කරුවන් තුන්ලක්ෂ 94,450ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 78,103ක් වශයෙනි.

සියලු ම විදුහල්පතිවරුන් වෙත සිය පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය ඉන්ටර්නෙට් ඔස්සේ බාගත කරගත හැකි අතර, එහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ.

ඒ සඳහා දැනටමත් අදාළ විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත.

එසේ ම, නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීම දෙසැ. 4 වන දා ආරම්භ වන අතර, 18 වන දා දක්වා අයැදුම්පත් යොමුකළ හැකි ය.

තව ද ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ නම් 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කර තිබේ.