මෙම වසරේ ජුලි 19 තිරගත කිරීම ආරම්භ කළ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer චිත්‍රපටය ඉතිහාසයේ මෙතෙක් තිරගත කර ඇති චරිතාපදාන චිත්‍රපට  (Biopics) සියල්ල අභිබවා ඩොලර් මිලියන 912ක ආදායමක් ලබාගනිමින් බොක්ස් ඔෆීස්හි ඉහළම ආදායම ලද චරිතාපදාන චිත්‍රපටය බවට පත් වී තිබෙනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂණය කළ, 2018 වසරේ තිරගත කෙරුණු Bohemian Rhapsody චිත්‍රපටයයි. ලොව පුරා ජනප්‍රියත්වයට පත් බ්‍රිතාන්‍ය ජාතික ගායකයෙකු වන Freddie Mercuryගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කර ඇති එම චිත්‍රපටය බොක්ස් ඔෆීස් හි ඩොලර් මිලියන 910.8 ක ආදායමක් ලබා තිබුණා.

“පරමාණු බෝම්බයේ පියා” ලෙස හැඳින්වෙන J. Robert Oppenheimerගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය කරන ලද Oppenheimer චිත්‍රපටය මේ වන විට 2023 වසරේ නිකුත් වූ චිත්‍රපට අතුරින් ඉහළම ආදායමක් ලද චිත්‍රපට අතර තෙවැනි ස්ථානයේ පසුවනවා.