2023 වසරේ දැවැන්තම බොක්ස් ඔෆිස් ගැටුම ලෙස විචාරකයින් හඳුන්වන Salaar සහ Dunki චිත්‍රපට මෙම සති අන්තයේ නිකුත් වීමට නියමිත ව තිබෙනවා. සම්මානනීය බොලිවුඩ් අධ්‍යක්ෂක රාජ් කුමාර් හිරානිගේ Dunki චිත්‍රපටය දෙසැම්බර් 21 වනදා සිටත්, ප්‍රශාන්ත් නීල්ගේ Salaar: Part 1 – Ceasefire චිත්‍රපටය දෙසැම්බර් 22 වන දා සිටත් ලොව පුරා තිරගත කිරීම ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

උතුරු හා දකුණු කර්මාන්තයන්හි දැවැන්තයන්ගේ ගැටුමක් ලෙස හැඳින්විය හැකි මෙම ගැටුම එම දැවැන්තයින්ගේ මෙන්ම කර්මාන්තයන්ගේ ද අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි සඳහන් කළ හැක්කේ. විශේෂයෙන් 2023 වසර තුළ පිට පිටම ඉන්දියානු රුපියල් කෝටි 1000 ඉක්මවූ චිත්‍රපට දෙකක හිමිකරු වන සුපිරි නළු ශාරුක් ඛාන් සමඟ කිසි දිනක අසාර්ථක (Flop) චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නොමැති රාජ් කුමාර් හිරානි කලකට පසු අධ්‍යක්ෂණය කරන Dunki චිත්‍රපටය හා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ KGF (2018)  සහ KGF 2 (2022) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රශාන්ත් නීල්ගේ දැවැන්ත නිර්මාණය වන සුපිරි නළු ප්‍රභාස් රඟන Salaar අතර ගැටුමේ ජය හිමිවනු ඇත්තේ කාටද?

Dunki චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, ඉන්දීය සිනමා ඉතිහාසයේ වසරක් තුල පිට පිටම ඉන්දියානු රුපියල් කෝටි 1000ක ආදායම ඉක්මවූ එකම නළුවා ලෙස ඉතිහාස ගතවූ සුපිරි නළු ශාරුක් ඛාන් නිරූපණය කරන අතර ඊට අමතර ව, තාප්සි පන්නු සහ විකී කෞෂාල් ද රංගනයෙන් දායක වනවා. බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ Pathan සහ Jawan චිත්‍රපටවලින් උද්දාමයට පත් වී සිටින ශාරුක් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂකාගාරය පසුවන්නේ නොඉවසිල්ලෙන්. එමෙන්ම කිසි දිනක අසාර්ථක (Flop) චිත්‍රපයටක් අධ්‍යක්ෂණය කර නොමැති රාජ් කුමාර් හිරානි වසර පහක නිහැඩියාවකින් පසු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් දැක බලා ගැනීමට ඉන්දියාව තුළ පමණක් නොව විදේශීය රසිකයිනුත් පසුවන්නේ විශාල උනන්දුවකින්. Munna Bhai M.B.B.S. (2003), Lage Raho Munna Bhai (2002), 3 idiots (2009), PK(2014), Sanju (2018) මෙන් නැවත නැවත නරඹන්නට පොළඹවන ආකාරයේ ආකර්ශණිය කතාවක් Dunki තුළිනුත් දක්නිනට ලැබේවි යැයි විශ්වාස කරන්නට හැකියාව තිබෙනවා. එකම සති අන්තයක නිකුත් වුනත් Salaar නිකුත් වන දිනට පෙර දිනයේ තිරගත කිරීම ඇරඹීම නිසා ඉතා හොඳ පළමු දින ආදායමක් ලබා ගැනීමට Dunki චිත්‍රපටයට හැකියාව තිබෙනවා. බොහෝවිට එය ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවනු ඇති බව විශ්වාස කළ හැකියි.

තිරගත කිරීමේ දිනය වරින් වර වෙනස් කෙරුණු Salaar චිත්‍රපටය දෙසැම්බර් 22 වන දිනට නියම වූයේ ජ්‍යොතිශය මතයද සලකා බලමින් බව පසුගිය කාල සීමාව තුල දී දැඩි කතා බහට ලක්වූ කරුණක්. Salaar ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රභාස් මෑත කාලයේ රඟපෑ Radhe Shyam (2022) සහ Adipurush (2023) චිත්‍රපට දෙකම අසාර්ථක වූ අතර, Adipurush (2023) චිත්‍රපටය රසිකයින් අතර හාස්‍යයට මෙන්ම වෛරයටද ලක් වී තිබීම ප්‍රභාස් වෙත පෞද්ගලිකව සෘණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. තවත් කොටස් කිහිපයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් Salaar: Part 1 – Ceasefire ලෙසින් නම් කර ඇති චිත්‍රපටය KGF විශ්වයේද කොටසක් වන බවට වාර්තා පවතින අතර, යම් හෙයකින් Salaar අසාර්ථක වුවහොත් එය ප්‍රභාස්ගේ සිනමා ගමනේ අනාගතයට මෙන්ම KGF සිනමා විශ්වයේ අනාගතයටද මරු පහරක් වනු ඇති. මේ නිසා Salaar හි ප්‍රචාරක කටයුතු ද අධික වියදමක් දරමින් සිදු කරනු දකින්නට ලැබුණු අතර, චිත්‍රපටයේ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග සහ සංස්කරණ කටයුතුද නැවත සිදු කළ බවද වාර්තා වුණා. සමාජ මාධ්‍ය වෙත පළවන රසික ප්‍රතිචාර අනුව Salaar වෙත ඉහළ ප්‍රතිචාරයක් පවතින බව දැකගත හැකියි. Salaar චිත්‍රපටයේ අවසානයට නිකුත් වූ පූර්ව ප්‍රචාරක පටය (Release Trailer) එක් දිනක් තුළ ඉන්දියානු චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් සමාජ මාධ්‍ය තුළ ලබා ගත් වැඩිම දැකුම්වාර (Views) ගණනට හිමි වාර්තාවටද හිමිකම් කියා ඇත්තේ මිලියන 166කට අධික දැකුම්වාර සංඛ්‍යාවක් වාර්තා කරමින්. ඒ අනුව, දකුණු ඉන්දියානු සිනමාවේ තමාටම අනන්‍ය රසික ප්‍රජාවක් සහිත ප්‍රිත්විරාජ් සුකුමාරන් සහ ජනප්‍රිය නිලි ශ්‍රැති හසන්ද චරිත නිරූපණය කරන Salaar මෙම බොක්ස් ඔෆිස් සටනේ පැහැදිලිවම ඉදිරියෙන් පසුවන බවයි පෙනෙන්නට ඇත්තේ.

චිත්‍රපට දෙකෙහිම ටිකට්පත් වෙන් කිරීම් (Advance bookings) පසුගියදා ආරම්භ වූ අතර, Salaar හි ආදායම දේශීයව මෙන්ම විදේශීයවත් Dunki අභිබවා ගොස් තිබෙනවා. මේ වන විට පූර්ව ටිකට් පත් වෙන් කිරීම් මගින් Salaar චිත්‍රපටය දේශීයව උපයා ඇති ආදායම රුපියල් කෝටි 12 ඉක්මවා ඇති අතර, විදේශීය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.35 ක ආදායමක් උපයා තිබෙනවා. Dunki චිත්‍රපටය මේ වන විට දේශීයව රුපියල් කෝටි 10 ක ආදායමකුත්, විදේශීයව ඇමෙරිකා ඩොලර් මිලියන 1.01 ක ආදායමකුත් උපයා ඇති බව වාර්තා වනවා. සිනමා විශ්ලේෂකයන්ට අනුව LEO චිත්‍රපටය හිමිකර ගෙන ඇති පළමු දින වැඩිම ආදායමට හිමි වාර්තාව ද Salaar බිඳ දමනු ඇති බවට මත පළ වනවා. Dunki චිත්‍රපටය පරයමින් භාෂා 5කින් නිකුත් වන Salaar වෙත වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වනු ඇති බව අපේක්ෂා කල හැකියි. උතුරු ඉන්දියානු චිත්‍රපටයකට දකුණේ ආකර්ෂණය අඩුවෙන් හිමි වන නිසා එහි වාසියද Salaar වෙත හිමි වනු ඇති අතර, මෙම සති අන්තයේදීම නිකුත් වන Jason Momoa රඟන Aquaman චිත්‍රපටයේ වැඩි බලපෑමද Dunki වෙත බලපානු ඇති. ඒ අනුව, අන්තර්ගතය කුමක් හෝ වේවා Salaar චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 1000 ඉක්මවූ ආදායමක් ලබා ගනු ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපට ද්විත්වයම ඉන්දියානු රුපියල් කෝටි 1000 සීමාව ඉක්මවා යනු ඇති බව අපේක්ෂා කළ හැකි අතර, යම් හෙයකින් එසේ වුවහොත් එක් වසරක් තුළදී ඉන්දියානු රුපියල් කෝටි 1000 සීමාව ඉක්මවා අදායමක් ලබාගත් චිත්‍රපට 3ක් හිමි ප්‍රථම හා එකම නළුවා ලෙස ශාරුක් ඛාන් ඉතිහාසගත වනු ඇති. Dunki සහ Salaar එකිකෙට වෙනස් සිනමා නිර්මාණ දෙකක්. චිත්‍රපටයේ අන්තර්ගතයට වඩා ක්‍රියාදාම, සංවේදීබව, සුපිරි තරු සහ දෙබස් සහිත Action packed මසාලා ආරයේ සිනමාව ප්‍රිය කරන චිත්‍රපටය වාර කිහිපයක් නරඹන ස්ථාවර රසික ප්‍රජාවක් Salaar වටා ගොඩනැගී තිබුණත් ඊට සාපේක්ෂව Dunki චිත්‍රපටයේ සාර්ථකත්වය පවතින්නේ චිත්‍රපටයේ අන්තර්ගතය මතමයි. එම නිසා සිනමාවේ සොඳුරු මායාකරුවකු වන රාජ් කුමාර් හිරානි ගේ සිනමා මායාව රසිකයින් වැළඳ ගන්නා අකාරය අනුව Dunki හි ගමන තීරණය වනු ඇති.

උමේෂ් ද සිල්වා