චීන ෂියෑන් සික්ස් පර්යේෂණ නෞකාවේ සමුද්‍රීය පර්යේෂණ අද (31) අවසන් වේ.

නෞකාව කොළඹ බෙන්තර මුහුදු ප්‍රදේශයේ පර්යේෂණ කටයුතුවල නිරත වන බව ද නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් පවසා ඇත.

එම නෞකාව පසුගිය දා සී ඔෆ් ශ්‍රි ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු ආරම්භ කළේ ය.

ඔවුන්ට ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ සිදු කිරීමට ලබාදී ඇති කාලය පැය 48 කි.

නෞකාව ඊයේ පස්වරු 1.00 ට පමණ කොළඹ වරායෙන් දියත් කෙරුණු අතර ඊයේ පස්වරු 4.00 ට පමණ ජාඇළට ආසන්න මුහුදේ දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා මුහුදේ සිදු කෙරන මෙම පර්යේෂණවලදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු දියවැල්වල තත්ත්වය, ඒවා මත්ස්‍යයින්ට බලපාන ආකාරය සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙන බව නාරා ආයතනය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව මුහුදු ජලයේ විවිධ ජල මට්ටම්වල සාම්පල් පරීක්ෂා කිරීමට ද නියමිතය.

චීන නෞකාවට නාරා ආයතනයෙන් සමාජිකයින් 4 දෙනෙකු සහ නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ද එක්ව සිටි.

මේ අතර ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් අකේබොනේ ඩීඩී 108 නෞකාව අද (31) උදෑසන 10.30 ට ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වීමට නියමිතය.

එම නෞකාව නිල සංචාරයක් සඳහා පසුගිය 28 වැනි දා උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණියේ ය.

ඩිස්ට්‍රෝයර් වර්ගයට අයත් නෞකාවේ දිග මීටර් 150ක් වන අතර එහි නැව් මුළුව 172 කින් සමන්විතය.