තරුණ සේවා සභාවේ ප්‍රධාන රංග ශාලාව හිසමතට කඩා වැටෙමින් තිබෙන පසුබිමක, රට පුරා මිලියන 323ක ප්‍රසංග සිදුකර ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

මේ වන විට විගණන වාර්තාවක් මගින් සහ තවත් තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සැලසුම්කරණයේ දී සිදුව ඇති අක්‍රමිකතා, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම, බිල්පත් පියවීමේ අවිධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සංගීත ශිල්පීන්ට ගෙවීම් සිදු කිරීමේ දී අක්‍රමිතා සිදුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර තමන් මේ පිළිබඳව අනාවරණය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.