කොලිවුඩ් සිනමාවේ Thalaivar ලෙස දුන්වන සුපිරි නළු රජිනි කාන්ත් අද දින (12) සිය 73වන උපන්දිනය සමරන බව වාර්තා වනවා. ඉන්දියාවේ බැංගලෝර් හි මරාති – හින්දු පවුලකට දාව සිවාජි රාඕ ගයික්වාඩ් නමින් උපන්  රජිනි කාන්ත් මේ වන විට දෙමළ, හින්දි, තෙලුඟු, කන්නඩා, බෙංගාලි  සහ මලයාලම් භාෂාවලින් චිත්‍රපට169 ක රංගනයෙන් දායක වී තිබෙනවා.

වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කර ඇති රජිනි මුලින්ම රංගනයට පිවිසෙන්නේ අධ්‍යක්ෂ කේ. බාලචන්දර්ගේ Apoorva Raagangal දමිළ චිත්‍රපටයෙන්. එතැන් සිට මේ දක්වා දශක 5කට අධික කාලයක් තිස්සේ රංගනයේ යෙදෙන මෙම සුපිරි නළුවාගේ ජනප්‍රියත්වය නම් වයසත් සමඟ අඩුවී නැහැ. ඉන්දියානු පුරවැසියෙකුට ලබා ගත හැකි දෙවැනි සහ තෙවැනි ඉහළම සම්මාන වන පද්ම භූෂණ සහ පද්ම විභූෂණ සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබා ඇති රජිනි සිනමා ක්ෂේත්‍රයේ ලද හැකි ඉහළම සම්මානය වන Dadasaheb Phalke Award සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා. ඩොලර් මිලියන 51ක වත්කමකට හිමිකම් කියන රජිනි කාන්ත් සිය සිනමා දිවියේ 170 වන චිත්‍රපටයේ රූගත කිරීම් වල මේදිනවල නිරත වන අතර, 171 වනි චිත්‍රපටය සඳහාද ගිවිසුම් ගත වි ඇති බව වාර්තා වේ.