අද (07) පාර්ලිමේන්තුවේදී  T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු විමසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහ​ස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙකු ද පත්කර ​ඇමෙරිකාව වෙත යවා ඇති බවයි

පාර්ලිමේන්තුවේදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබදව විම​සූ අවස්තාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා දුන්නේ මේ අයුරින් .

“ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ගුවන්යානා තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ගුවන්තොටුපොළේ අතරමංවීමක් සිදුවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ICCයට දැනටමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.”

“ඒකට හේතුව එක එක රටවලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝමීටර් ගණන අනුව. දෙක ලංකාව.” 

“​ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයත් ICCයෙන් තහනම් වෙලා ඉන්නේ මේ වෙනකොට. එහෙම තියෙද්දි තමයි ICC මේ ක්‍රිකට් තරගාවලිය ​ඇමෙරිකාවේ පවත්වන්නේ.” 

“අපි සති 2කට 3කට කලින් කිව්වා… ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙක්ව යවලා කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සලස්වන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව පත් කරලා තිබෙනවා ක්‍රිකට් ආයතනය. ඔහු එහෙ ගිහිල්ලත් තිබෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇතිවීම සම්බන්ධයෙන් අපි ඔහුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා.”