“Miss Japan 2024” ජපාන රූ රැජිණ කිරුළ දිනාගත් Karolina Shiino සිය කිරුළ නැවත භාර දී ඇති බව වාර්තා වනවා. යුක්රේනයේ උපන් ඇය සාම්ප්‍රදායික ජපාන ජාතික කාන්තාවක් නොවන බැවින්, මෙම තරඟයට සුදුසුකම් නොලැබිය යුතු බවට විරෝධයක් පැවතිය ද අවසානයේ ඇය විසින් Miss Japan 2024 කිරුළ දිනාගැනීමට සමත් වුණා.

එම ජයග්‍රහණයෙන් සතියකට පසු Shukan Bunshun නම් සඟරාවක් විසින් අනාවරණය කර තිබුණේ ඇය විවාහක පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවයි. ජපාන ජාතික වෛද්‍යවරයෙකු වන මෙම පුද්ගලයා විවාහකයෙකු බව Karolina Shiino ගෙන් වසන් කර ඇති බැවින් ඇය මේ සම්බන්ධයෙන් නිර්දෝෂී බව තරඟ සංවිධායකයින් පවසා තිබුණා. නමුත් පසුගිය සඳුදා Shiino නියෝජනය කළ නිරූපණ ආයතනය වන Free Wave modeling agency අනාවරණය කර තිබුණේ ඇය විසින් අදාළ පුද්ගලයා විවාහකයෙකු බව දැනුවත් වූ පසුත් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවයි.

පසුව Karolina Shiino විසින් සිය වරද පිළිගනිමින් කිරුළ නැවත සංවිධායකයන් වෙත භාර දීමට කටයුතු කර ඇති අතර සිය නිරූපණ කොන්ත්‍රාත්තුව ද අවසන් කරන ලෙස නිරූපණ ආයතනයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.