කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.

එමෙන්ම අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවය වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මරදාන පොලීසිය කළ දැනුම්දීමකට අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස වෙත මෙම අධිකරණ ආඥාව නිකුත් කර ඇත.

ඒ අනුව අද දහවල් 12.00 සිට හෙට (01) උදෑසන 10.00 දක්වා කාලය තුළ මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොටුව දුම්රියපොළ දක්වා අදාළ අධිකරණ බලසීමාව තුළ මහා මාර්ග සහ පදික වේදිකා, එම මහා මාර්ග සහ පදික වේදිකා භාවිත කරන සෙසු පුද්ගලයින්ට භාවිත කිරීම සිදුකළ නොහැකි අයුරින් විරෝධතා පා ගමන් තහනම් කර තිබේ.