ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට පළමුවෙන් පන්දුවට පහරදෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 05ක් දැවී ලකුණු 339ක් රැස් කරගෙන සිටියේය.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 73කට‌ සීමා කරමින් Usman Khawaja ලකුණු 17ක් ලබා සිටියදී දවාගැනීමට Josh Tongue සමත් විය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස David Warner ලකුණු 66කට දැවී ගිය අතර, Marnus Labuschagne ලකුණු සංඛ්‍යාව 47ක් ලබා සිටියදී දැවී ගියේය. Travis Head ලකුණු 77ක් ලබාගත් අතර, Cameron Green ලකුණු නොලබාම දැවී ගියේය.

නොදැවී පන්දුවට පහරදෙන Alex Carey ලකුණු 11ක් සහ Steven Smith ලකුණු 85ක් ලබාගනිමින් කඩුල්ලේ රැඳී සිටී.

පන්දු යැවීමේදී Josh Tongue සහ Joe Root කඩුලු දෙක බැගින් දවාගත්හ.