බොලිවුඩ් සිනමාවේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර අතිදක්ෂ රංගන ශිල්පිනියක ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි ආලියා භාත්, සිය මංගල හොලිවුඩ් ආගමනය සනිටුහන් කරන්නට සමත් වී තිබෙනවා. ඒ ඊයේ (අගෝස්තු 11) දින සිට Netflix ඔස්සේ ප්‍රදර්ශනය ආරම්භ කළ බ්‍රිතාන්‍ය ජාතික සිනමා අධ්‍යක්ෂක ටොම් හාපර්ගේ Heart of Stone චිත්‍රපටයෙන්. ජනප්‍රිය හොලිවුඩ් නිලි ගැල් ගැඩොට් (Rachel Stone) හා සම්මානනීය හොලිවුඩ් නළු ජෙමී ඩෝර්නන් (Parker)  විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය Spy-Action ශානරයේ චිත්‍රපටයක්.ලි

ආලියා භාත් (Keya Dhawan) විසින් නිරූපණය කරනු ලබන්නේ වයස අවුරුදු 22ක හැකර්වරියකගේ චරිතයක්. නමුත්, ආලියා වැනි දක්ෂ රංගන ශිල්පිනියකගෙන් මෙයට වඩා “වැඩි යමක්” චිත්‍රපටය වෙනුවෙන්  ලබා ගත හැකිව තිබූ බවත්, මෙය ඇගේ හැකියාව අපතේ යැවීමක් බවත් විචාරකයින් පෙන්වා දී තිබුණා. Heart of Stone චිත්‍රපටය අසාර්ථක පිටපතකට අනුව සාර්ථකව රූගත කළ එකක් බවයි ඇතැම් විචාරකයින් පවසා තිබුණේ. මේ අතර,  Heart of Stone චිත්‍රපටයේ ඇතැම් දර්ශන ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන Mission Impossible හි ජවනිකාවන් එලෙසින්ම අනුකරණය කිරීමක් බවටද චෝදනා එල්ල වනවා. හොලිවුඩයට ආගන්තුක නොවන කථා තේමාවක් (Spy-Action) මත පදනම්ව නිර්මාණය කර ඇති  Heart of Stone චිත්‍රපටය ලබා ඇති රසික ප්‍රතිචාරද එතරම් යහපත් මට්ටමක තිබුණේ නැහැ.