සාහිත්‍යය කියන්නෙ රසයක්.ඒක පැණි රසක්,තිත්ත රසක්,ඇඹුල් රසක් වගේ අපේ දිවගට දැනෙන රසයක් නෙවෙයි.හදවතට දැනෙන රසයක්.අධ්‍යාත්මය ට දැනෙන රසයක්.ඒ නිසාම සාහිත්‍යයෙන් නිපදවන්නෙ උත්තම රසයක් කියල අපිට පැකිලීමකින් තොරව කියන්න පුලුවන්.ශිෂ්ටාචාරයේ ආදිතම යුගයේ දී පවා පඩිවරු මේ උත්තම බව හදුනගෙන සිටියා.ඒ නිසා තමයි ඇතැම් ඉසිවරු සාහිත්‍යය රසය “බ්‍රහ්මාස්වාදයට”සමාන කලේ.

ඉතින්,ගීතයක් වුණත වඩාත් අපූර්ව වෙන්නෙ,සාහිත්‍යය රසයත් මඳ පමණට කලවම් වුණාම.එහෙම කලවම් වුණු ගීත සදාකාලයෙන් සදාකාලවට අපිට වින්දනය සපයනවා.

මේ එහෙම ගීතයක්.

පුන්සද රෑට ඇවිදින් හේනේ කළුව බිද
රන්කද සේම රන්වන් ඉරිඟු ඉඹ්නවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද
රන්කද තාම පැල් රකිනවද නිදි නැතිද?

මේ ගීය සමාජගත වෙන්නෙ එක්දහස් නවසිය අනූව දශකයෙ අග භාගයෙදි විතර.එතකොට මම පාසල් යන ගැටවරයෙක්.ගීත රස වින්දට විචාරයක් කියල දෙයක් ගැන දැන ගෙන හිටියෙ නැහැ.දවසක් මට විචාර ලිපියක් හමුවෙනවා මේ ගීය ගැන සුචරිත ගම්ලත් මහාචාර්ය තුමා රචනා කරපු.මතක විදියට ලංකාදීප පත්තරේක තිබ්ලයි ඒ ලිපිය අහම්බෙන් මගේ ඇහැ ගැටෙන්නෙ.මේ ගීය එතකොට අපි අතර ඉතාම ජනප්‍රිය වෙලා තිබුන නිසා මම ඒ ලිපිය නිකමට වගේ කියෙව්වා.මට අද වගේ මතකයි එහි එක තැනක තිබුනා, “ඉරිඟු කරල්” වගේ දිගැටි,වටකුරු ද්‍රව්‍යයක් සාහිත්‍යයේ දී පහසුවෙන්ම ශෘංගාරාත්මක සංකේතයක් බවට පෙරලන්න පුලුවන් කියලා.

හා හා පුරා කියලා ගීත විචාරය ගැන උනන්දුවක් මගේ ගැටවර හිතේ මෝදු වුනේ අන්න ඒ වෙලාවෙ.සාමාන්‍යයෙන් “කුණුහරුප”කියලා අපි එදිනෙදා ව්‍යවහාරයෙදි හදුන්වන දේවල් සාහිත්‍යයේ දී මොනතරම් සභ්‍ය විදියට මොනතරම් සංයමයෙන් කියන්න පුලුවන් ද කියල මට ඒ වෙලාවෙ හිතුනා.

ඔබ දන්නවා අපේම රටේ ඇතැම් පලාත්වල මිනිස්සු ඉතිහාසයේ එක වකවානුවක තමන්ගෙ ප්‍රධාන ජීවෝනෝපාය කරගෙන තිබුනෙ හේන් ගොවිතැන.එක්තරා දුරකට දැනුත්.මේ හේන් ගොවිතැන සරල නෑ.පහසු නෑ.කඩල ටික කව්පි ටික මෙනේරි ටික මුං ටික වගා කරලා ගෙදරට ඇවිත් වකුටු වෙලා සැප ගන්න ගොවියට බෑ.බව භෝග ටික වන සත්තුන්ගෙන් ආරක්ෂා කර ගන්න වෙනවා.ඒ නිසාම ගෙදර මනුස්සයට සිද්ධ වෙනවා හේනට ගිහින් පැල් රකින්න.

ඉතින්,මේ ගීතයේ අපිට හමුවන්නෙ, මනුස්සයා එහෙම පැල් රකින්න ගියාට පස්සෙ ගෙදර තනිපංගලමේ ඉන්න සිද්ධ වුණු යුවතියක්.යව්වන බිරිදක්.ඇගේ සරාගික ආයාචනය තමයි නිරෝෂා හද කීරි ගැස්සෙන අයුරින් ගායනා කරන්නෙ.

හඳ පායලා.ඇය අහනවා මේ හද එළිය හේනට ඇවිත් “රන්වන් ඉරිඟු කරල්”ඉබිනවද කියලා.ඔන්න දැන් අපි ට මතක් වෙන්න ඕනෙ ගම්ලත් මහාචාර්ය තුමා ඉරිඟු කරල් ගැන කියාපු කතාව.

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇල වී ඉන්න හිතයි මට

හද විතරක් නෙවෙයි.තරුත් පායලා.අවට පරිසරයේ තියෙන්නෙත් ඇගේ සරාගය උත්සන්න කරන අන්දමේ චමත්කාරයක්.”පිල්කඩ”කියන්නෙ මේ සරාගයේ තරම කියන්න පුලුවන් තවත් ප්‍රබල රූපකයක්.

වියළි කලාපයේ මිනිසුන් ගේ ජන ජීවිතය සහ මේ “පිල්කඩ” අතර තියෙන්නෙ අව්‍යාජ බැදීමක්.අත්‍යන්ත බැදීමක්.ඔය කියන හේන් ගොවිතැන් කෙරුණු යුගයේ පැලේ නෙවෙයි නම් ගෙදර පිරිමියා නිදාගන්න පුරුදු වෙලා හිටියෙ පිල්කඩේ.වනසත්තුන් ගෙන් අටු කොටු බේරගන්න වගේම ඔබ දන්නවා වියළි කලාපයේ රස්නෙන් බේරිලා හුලං ටිකක් වැදි වැදි නිදාගන්නත් පිල්කඩ තමයි හොදම තැන.ඒ නිසාම මේ මිනිස්සු අඹු සැමි සබඳතා පැවැත්තුවෙ,ලිංගික චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කලේ මේ පිල්කඩේ.

බලන්න ඉතින්,මේ තරුණ බිරිද බලාගෙන ඉන්නවා පැලට ගිය මනුස්සයා කොයි වෙලාවක හරි පිල ට ගොඩ වෙයි ද කියලා.අපරාදෙ නෙ මෙච්චර ලස්සන රැයක්.මෙච්චර ලස්සන සෙෘන්දර්යයක්.

අනික,දැන් දැන් නෑදෑයොත් යාළු හිත මිත්‍රයොත් මෙයාගෙන් අහන්න පටන් අරන් “මොකෝ තවම නැද්ද”? කියලා.එයාලට මේ තරුණ බිරිද උත්තර දෙනවා මෙහෙම.

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

කසාද බැන්ද විත්තිය ඇත්ත.ඒත් තවම දරු මල්ලො නෑ කියලයි ඇය මේ කියන්නෙ. තනිපංගලම මකාගන්න දරු පැටියෙක් හිටිය නම් කියන අහිංසකම අහිංසක බලාපොරොත්තුවයි මේ ගීය ඇතුලෙ ඊලගට ඇහෙන්නෙ.

රන්කද සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාය හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝකොහොම අපි දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන.

මේ ගීය ලියන්න හේතු වුනු අත්දැකීම ගැන විස්තර කරන රත්න ශ්‍රී කවියා එක තැනක කියනවා,තනිපංගලමේ ජීවත් වෙන අවූරුදු අසූවක විතර අම්මා කෙනෙක් හමුවුනාලු දවසක් නුවර කලාවියේදී.කවියා ඒ අම්මාගෙන් ඇහුවලු “දරු මල්ලො එහෙම ළගක නැද්ද”කියලා.ඒ වෙලාවේ ඒ මනුස්සයා කිව්වලු මෙහෙම කතාවක්.

“ඔන්න ඇඳිරි වැටීගෙන එන කොට අපේ මනුස්සයා හේනට යනවා පැල් රකින්න.ආයෙමත් උදැහැනැක්කේ අමුඩ කෙටියකුත් අටවන් කුඹුරට දුවනවා.ඉතින් මහත්තයො කොයින්දෑ දරු මල්ලො”කියලා.

මෙන්න මේ අත්දැකීම ඇසුරින් ඇගේ තරුණ විය මෙහෙම වෙන්න ඇති කියල පරිකල්පනය කරල තමයි රත්න ශ්‍රී කවියා මේ ගීය ලියන්නෙ.

ගීයේ පලමුව දැනෙන ශෘංගාරාත්මක බව පරයා අවසානයට යද්දි අපි ට දැනෙන්නෙ එක්තරා විදියක කරුණා රසයක් නෙවෙයි ද?ඇගේ තනිකම ගැන සිහින් ශෝකයකින් අ⁣පිත් ටිකක් කම්පනය වෙනවා වගේ නේද?

දැන් පේනවා නේද සාහිත්‍යය රසය ටිකක් එකතු වුනාම ගීයක් ඇතුලෙ ඇවිදගෙන යන්න පුලුවන් දුර කොච්චරක්ද කියලා.

නලින්ද සංජීව ලියනගේ