2021 වසරේ තිරගත කරන ලද චිත්‍රපට ඇගයීමට ලක් කරන 69 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේ සම්මාන ප්‍රදානය ඊයේ (17) ඉන්දියාවේ ජනාධිපති ද්‍රෞපදි මුර්මු මැතිණියගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලියේ “විග්‍යාන් භවාන්” හි පැවැති චාම් උත්සවයකදී සිදු කෙරුණා. එහි ප්‍රධාන සම්මාන බෙදී ගොස් තිබුණේ පහත ආකාරයෙන්.
හොඳම චිත්‍රපටය: Rocketry
හොඳම අධ්‍යක්ෂණය: නිඛිල් මහජන් (Godavari)
ජනප්‍රියම චිත්‍රපටය: RRR
ජාතික ඒකාබද්ධතාවය පිළිබිඹු කෙරෙන හොඳම චිත්‍රපටයට හිමි නර්ගීස් දත් සම්මානය: The Kashmir Files
හොඳම නළුවා: අල්ලු අර්ජුන්( Pushpa)
හොඳම නිලිය: ආලියා භාත් (Gangubai Kathiawadi ) සහ ක්‍රිති සැනන් (Mimi)
හොඳම සහාය නළුවා: පංකජ් ත්‍රිපාටි (Mimi)
හොඳම සහාය නිළීය: පල්ලවී ජෝෂී (The Kashmir Files)
හොඳම ළමා නළු: භාවින් රබාරි (Chhello Show)
හොඳම මුල් තිරරචනය: ශෂි කබීර් (Nayattu)
හොඳම අනුගත තිරරචනය : සංජේ ලීලා බන්සාලි සහ උත්කර්ෂිණී වෂිශ්තා (Gangubai Kathiawadi)
හොඳම සංගීත අධ්‍යක්ෂණය (ගීත): දේවි ශ්‍රී ප්‍රසාද් (Pushpa)
හොඳම සංගීත අධ්‍යක්ෂණය (පසුබිම් සංගීතය): එම්.එම්. කීර්වානි (RRR)
හොඳම පසුබිම් ගායකයා: කාලා භෛරව් (RRR)
හොඳම පසුබිම් ගායිකාව: ශ්‍රෙයා ඝෝෂාල් Iravin Nizhal)
හොඳම ගී පද රචනය: චන්ද්‍රබෝස් (Konda Polam චිත්‍රපටයේ Dham Dham Dham ගීතය)
හොදම සංස්කරණය: සංජේ ලීලා බන්සාලි (Gangubai Kathiawadi)

ෙහි ජයග්‍රාහකයින් අගෝස්තු 24 දිනයේ දී නිවේදනය කළ අතර, ඉන් පසු ක්ෂේත්‍රය තුළ වැඩිපුරම කතාබහට ලක් වුණේ හොඳම නළුවාට හිමි සම්මානය ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට නළු අල්ලු අර්ජුන් විසින් දිනා ගැනීම පිළිබඳවයි. ඒ සමඟින්ම ඉන්දියානු ජාතික සිනමා සම්මාන පිරිනැමීම අපක්ෂපාතී නොවන බවට නැවතත් කතිකාවක් ඇති වී තිබෙන්නේ පසුගිය වසරවල සම්මාන උළෙලවලදී ද ඇති වූ මතභේදාත්මක සිදුවීම් ආවර්ජනය කරමින්.

ඉන්දියානු ජාතික සිනමා සම්මානලාභීන් නිවේදනය කිරීමෙන් පසු සෑම වසරකම පාහේ මෙම ගැටළුව ඉස්මතු වන්නේ එහි නිර්පාක්ෂික හා විනිවිදභාවය පිළීබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්. අල්ලු අර්ජුන් Pushpa : The rise චිත්‍රපටයේ ඉතාම හොඳ චරිත නිරූපණයක නිරත වූ බව අවිවාදිත වන අතර, එම චරිතයට අදාළව ඔහු උපරිම සාධාරණය කළ බවට විවාදයක් නැහැ. නමුත්, ජාතික සිනමා සම්මානය ලැබීමට තරම් එම රංගනය ඉහළ මට්ටමක තිබුණාද යන්න විමසා බැලිය යුතු වනවා. RRR චිත්‍රපටය සඳහා Jr NTR සහ රාම් චරන්, Jai Bhim චිත්‍රපටය සඳහා සූර්යා, Karnan සඳහා ධනුෂ්, Maanadu සඳහා සිලම්බරාසන් , Sarpatta Parambarai සඳහා ආර්යා සමග Nayattu සඳහා ජෝජු ජෝර්ජ් යන නළුවන් අල්ලුට අමතරව නිර්දේශ වී තිබූ අතර, Filmfare ඇතුළු සම්මාන උළෙල කිහිපයකම හොඳම නළුවා සම්මානය හිමි කරගත් විකී කෞෂාල් (Sardar Udham) නිර්දේශිත නාම අතර හෝ නොවීම හාස්‍යජනක බවයි අපගේ හැඟීම. නිර්දේශිත නාම අතුරින් Sarpatta Parambarai හි රඟපෑ ආර්යා ඉදිරියෙන් සිටින බවයි විචාරකයින්ගේ ද අදහස් වී තිබුණේ. හොඳම නිලිය සම්මානය සඳහා Gangubhai Kathiawadi චිත්‍රපටය වෙනුවෙන් ආලියා භාත් සහ Mimi චිත්‍රපටය වෙනුවෙන් ක්‍රිටි සැනන් යන දෙදෙනාටම සම්මාන හිමි වූ පසුබිමක ආර්යාද ඇගයීමට ලක් කිරීමට ජූරියට හැකියාව තිබුණා.

මතභේදාත්මක තිරණ සම්බන්ධයෙන් ඉන්දියානු ජාතික සිනමා සම්මාන උළෙලට චෝදනා එල්ල වූයේ මෑතක සිට නොවේ. ඉන්දියානු ජාතික සිනමා සම්මාන සම්බන්ධයෙන් 90 දශකය තෙක් එවැනි බරපතළ චෝදනා එල්ල වී ඇති බව වාර්තා නොවන නමුත් ඉන් පසුව මෙවැනි චෝදනා එල්ලවීම සාමාන්‍ය තත්වයක් බවට පත්වීම කණගාටුදායකයි. අල්ලු අර්ජුන් වෙත එල්ල වූ ආකාරයේම චෝදනාවක් පසුගිය 68වන සම්මාන උළෙලේ දී සූර්යා වෙත එල්ල වී තිබුණා. සූර්යා විසින් නිෂ්පාදනය කර ඔහු විසින්ම ප්‍රධාන චරිතය රඟපෑ Soorarai Pottru චිත්‍රපටයට ඉන්දියානු ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිලිය ඇතුළු සම්මාන 5ක් ම දිනාගැනීමට සමත් වූ අතර, එම චෝදනාවට හේතු වී තිබුණේ සූරියාගේ කළමනාකරු ලෙස කටයුතු කරන එස්.තංගාදුරෙයි, 11 දෙනෙකුගෙන් යුත් ඉන්දියානු ජාතික සිනමා සම්මාන ජූරියේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරිමයි.

ෙවැනිම චෝදනාවක් ජනප්‍රිය බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් වෙත ද එල්ල වූයේ Hum Tum (2004) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය පිරි නැමීම හේතුවෙන්. Swades චිත්‍රපටය වෙනුවෙන් ශාරුක් ඛාන් සහ Khakee චිත්‍රපටය වෙනුනේ අමිතාබ් බච්චන් ඉහළ රංගන ප්‍රතිභාවක් දක්වා තිබූ පසුබිමක වුවත්, සායිෆ්ගේ මව වන ශර්මිලා තාගෝර් එවකට ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයේ සභාපතීත්වය දැරීම හේතුවෙන් සායිෆ් වෙත එම සම්මානය ලබා දීමට බලපෑම් සිදු වූ බවටයි චෝදනා එල්ල වුණේ.

2017 වසරේදී ද හොඳම නළුවා සම්මානය පිළීබඳවම මතභේදාත්මක තත්වයක් ඇති වූයේ එම සම්මානය Rustom චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ආක්ෂේ කුමාර් වෙත හිමි වීම හේතුවෙන්. ආක්ෂේ කුමාර් ඉතා දක්ෂ නළුවකු බව සැබෑවක් වුවත්, Aligarh චිත්‍රපටයේ මනෝජ් බජ්පායි ඉදිරිපත් කළ දක්ෂ රංගනය ඊට බොහෝ ඉදිරියෙන් පැවතුණා. Dangal චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම වසරේ Filmfare සම්මානය හිමි කරගත් ආමීර් ඛාන් සහ Pink චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් පවා නිර්දේශිත නාම අතර සිටියදී ආක්ෂේ වෙත සම්මානය හිමි වීම ගැටළු සහගත වීම පුදුමයක් වූයේ නැහැ. එම සම්මාන උළෙලේ ජූරි සභියෙකු ලෙස කටයුතු කළ ප්‍රියදර්ශන් ආක්ෂේ වෙත සම්මානය ලබා දීමට බලපෑම් කළ බවට චෝදනාවට ලක්වූයේ ආක්ෂේ සහ ප්‍රියදර්ශන් එක්ව බොහෝ නිර්මාණ කටයුතු වල යෙදීම හේතුවෙන්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ඒ.ආර්. මුරුගාදාස් ඇතුළු බොහෝ දෙනෙකු එම වසරේ ජාතික සම්මාන උළෙල පැහැදිලිවම පක්ෂපාතී වූ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා.

වසරකට විවිධ භාෂා ඔස්සේ වසරක් තුළ චිත්‍රපට 100කට (නිර්දේශිත) අධීක ප්‍රමාණයක් නිකුත් වන දැවැන්ත සිනමා කර්මාන්තයක් හිමි ඉන්දියාව වැනි රටක, රජය විසින් පිරිනමන ජාතික සම්මානවල උළෙලේ ගුණාත්මකභාවය මෙන්ම විනිවිද භාවය මීට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු වන බව අපගේ හැඟීමයි. මක් නිසාද යත් රටක චිත්‍රපට කර්මාන්තය පැවතීමට ජනප්‍රිය ධාරාවේ වාණිජමය චිත්‍රපට නිශ්පාදනය වැදගත් වන්නා සේම, යතාර්ථවාදී කලාත්මක නිර්මාණවල නිශ්පාදනයද එකසේ අත්‍යාවශය වීම හේතුවෙන්. හින්දි, දෙමළ, කන්නඩා, මයාලම්, තෙළිඟු, පන්ජාබ්… ආදී කර්මාන්ත යටත් පිරිසෙයින් එකක් හෝ නියෝජනය කළ යුතු ය යන අදහසින් හෝ වාණිජමය වශයෙන් සාර්ථක වීම එසේත් නැතිනම් ජනප්‍රියත්වය හේතුවෙන් ජාතික සම්මානය පක්ෂපාතී නොවිය යුතු වනවා. මේ හේතුවෙන් අවසානයේදී දක්ෂ සිනමාකරුවන් මන්දෝත්සාහී වීම නිසා ජනප්‍රිය සිනමාව පමණක් ඇගයීමට ලක්වීම තුළින් සිදුවන්නේ සමස්ත චිත්‍රපට කර්මාන්තයේම ගුණාත්මක භාවය බිඳ වැටීම පමණයි.

උමේෂ් ද සිල්වා