‘ජාතික තෛපොංගල් උත්සව සැමරුම’ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) උත්කර්ෂවත්ව පැවැත්විණි.

ගොවිතැන් කටයුතු සඳහා සූර්ය දෙවියන්ගෙන් ලැබුණු ශක්තියට කෘතගුණ දැක්වීම ආදී කරුණු කොටගෙන හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව තෛපොංගල් උත්සවය සමරනු ලබයි.

තෛපොංගල් උලෙළ සැමරීමේ අරමුණින් හින්දු චාරිත්‍රානුකූලව පොංගල් බතක් පිළියෙල කරමින් හින්දු බැතිමත්හු උත්සවය වර්ණවත් කළහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ජල සම්පාදනය හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශයේ පූර්ණ සංවිධානයෙන් උත්සවය පැවැත්විණි.

සර්ව ආගමික පූජකවරු , ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්. යූ .ගමගේ , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්ඩිල් තොණ්ඩමන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර පී. එස්. එම්. චාල්ස් , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .රාමේෂ්වරන්,අමාත්‍යංශ ලේකම්වරු වන සෝමරත්න විදානපතිරණ , ඒ. සී .එම් .නෆීල්,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි.අනුරුත්තනන් යන මහත්ම මහත්මිහූ ඇතුළු සම්භාවනීය අමුත්තන්, දිවයින පුරා ප්‍රදේශයන්හි වෙසෙන හින්දු බැතිමත්හූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.