උතුරු නැගෙනහිර පළාත් වල නිහඬ යුද්ධයක් ක්‍රියාත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණා හරන් පවසා ඇත.

විශේෂයෙන් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ වල වෙහෙර විහාර ඉදිකරමින් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම සිංහල බෞද්ධ රටක් යන්න මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට හුවා දැක්වීමේ අරමුණින් මෙම ඉදි කිරීම් සිදු කරමින් තිබෙන බවද මන්ත්‍රීවරයා චෝදනා කර තබේ.

1949 වර්ෂයේ එවක අගමැති ඩී. එස් සේනානායක නැගෙනහිර පළාතේ දෙමළ ජනගහන ප්‍රතිශතය අඩු කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු ගල්ඔය ව්‍යාපෘතියේ සිට මේ දක්වාම උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් ආක්‍රමණය කිරීම් අඩු වී නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉකුත්දා මඩ කළපුවේදි පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පවසා ඇත.

2009 මැයි මස 18 වනදා මෙරට ආයුධ සන්නද්ධ යුද්ධය නිහඬ කෙරුණා. මේ අරගලයට පෙරත් අප නායකයින් රැසක් අහිමි කර ගෙන තිබෙනවා. ජේ. ආර් ජයවර්ධන මහතාගේ කාලයේ සිටම දෙමළ ජනතාවට සාම සාකච්ඡා සදහා ඉඩක් ලැබුණේ නැහැ. යුද්ධය අවසන් වු පසුව ශ්‍රී ලංකා ආණ්ඩු උතුරු නැගෙනහිර පළාත් වල බලහත්කාරයෙන් යම් වෙනසකට ලක් කරමින් තිබෙනවා. වෙනස්කම් අතර ප්‍රධාන වූයේ එම ප්‍රදේශ වල අලුත් වෙහෙර විහාර ඉදි කිරීම හා වැලිඔය වැනි ව්‍යාපෘති මගින් ඉඩම් අත්පත් කරගෙන පළාත් දෙක වෙන් කිරීමයි.

කුරුන්තර් මලෙසි විහාරය ප්‍රදේශයේ දෙමළ ජනතාව පාරම්පරිකව ජිවත් වුණා. නමුත් වර්තමානයේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එම ඉඩම් ජනතාවට ලබාදීමට නොහැකි බව පවසනවා. උතුරු නැගෙනහිර පළාත් තමන්ගේ නිජබිම යැයි ප්‍රකාශ කරන දෙමළ ජනතාවට සරත් වීරසේකර උදය ගම්මන් පිල විමල් වීරවංශ වැනි මැති ඇමතිවරු මේ වන විට අනතුරු ඇගවීම් සිදු කරනු ලබනවා.

දෙමළ ජනතාවට තම නිදහස පිළිබද ඇති අරමුණ තවමත් අමතක නැති බව මැති අමැතිවරු දැන ගත යුතුයි. එක දිනක් තුළ තීරණයක් ලබාදිය නොහැකි බවත් අප ලැබෙන තීරණය බාරගත යුතු බවත් දේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මේ ජනවාර්ගික ගැටලුව කොපමණ කාලයක් පවතින්නේද ඒ සදහා කොපමණ කාලයක් අප විසදුමක් ඉල්ලා සිටින්නේද යන්න ඔහු නොදන්වා විය හැකියි. අපි එකරැයකින් විසදුමක් ඉල්ලා සිටින්නේ නැහැ. එහෙත් දෙන තීරණයක් බාරගෙන අපේ ජනතාව ද්‍රෝහී වීමටත් අප සුදානම් නැහැ.

රාජිනි මෙන්ඩිස්