කටුනායක ගුවන්තොටුපළ ඇතුළු සියලුම ගුවන්තොටුපොළ සහ වරායවල ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන මෙහෙයුම් පද්ධතිය ( Boder control management system) අද (27දා) අලුයම සිට
පැය පහකට අධික කාලයක් බිඳවැටී ති⁣⁣බිණි.
අලුයම 2.45 පමණ සිට මෙම බිඳවැටීම සිදුව ඇති අතර, මේ හේතුවෙන් ගුවන් මගීන්, නෞකා කාර්යමණ්ඩල ඇතුළු විශාල පිරිසක් අපහසුතාවට පත්ව තිබිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගුවන්තොටුපොළ ආගමන විගමන අංශය සඳහන් කර තිබුණේ ප්‍රධාන සර්වරය බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ අතර, මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බවයි.
කෙසේ වුවද මෙම බිඳවැටීම සිදු වූ කාලය ආගමන විගමන කටයුතුවල ඉතා කාර්යබහුල වෙලාවක් වන අතර, ඒ හේතුවෙන් මගී ගමන් විශාල වශයෙන් ප්‍රමාද වී තිබුණු බවද වාර්තා විය.

එමෙන්ම මේ තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපොළ පමණක් නොව සියලුම වරායවල ආගමන විගමන කටයුතුද බිඳ වැටී තිබූ බවද සඳහන් වෙයි.

ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරන්නේ මසකට වරක් නොව කිහිපවරක් මෙම තත්ත්වය උද්ගත වන බවයි. මෙම ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන ඒකකයේ සර්වරය තෙවැනි පාර්ශ්වයක් විසින් පාලනය කෙරෙන අතර, එහි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවන බවද සදහන් වෙයි. එමෙන්ම එම පද්ධතිය මේ වනවිට යල්පැන ගිය එකක් බවත්, මේ හේතුවෙන් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් සිදුවිය හැකි බවත් එමආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
මෙවැනි අවස්ථාවල බොහෝ විට සර්වරයෙන් ස්වයංක්‍රීය පාලන කටයුතු මුදවා සේවකයන් විසින් එම කටයුතු මෙහෙයවීම සිදු කරන අතර, එය අවදානම් කාර්යයක් බවද එම ආරංචි මාර්ගය අවධාරණය කරයි.
එමෙන්ම මේ තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට පවා ඍජුව බලපෑම් සිදුවන බවද තතු දත්තෝ තවදුරටත් සඳහන් කරති.