හෙට දිනය තුළ වයඹ, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොනරාගල, මන්නාරම, රත්නපුර සහ වව්නියාව දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපෙක්ෂා කරන්නේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවධානය යොමු කළ යුතු අනතුරු ඇඟවීමක් සිදුකරන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය සෙන්ටිග්‍රේඩ් අංශක 39 සිට 45 දක්වා පැවතිය හැකි බවට නිවේදනය කරයි.

වැඩි වෙලාවක් පරිසරයට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

එක දිගට ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලන තත්ත්වයන් සහ ලවන ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීමේ තත්ත්වයන් ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන්ය.

වැඩබිම් තුළ දී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, නිවෙස් තුළ දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධව අවධානයෙන් පසුවීම, වාහන තුළ පොඩි දරුවන් තනිව රඳවා නොතැබීම, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම සිදුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.