ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති අතර එයට හේතුව නව සන්ධානයේ නායකත්වය ලබාගැනීමට කැමැත්ත පළ කර සිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමගය.

නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිහිපයක් පසුගිය දින කිහිපය තුළ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද පසුගිය දා පක්ෂ මුලස්ථානයේ දී පවත්වා ඇති අතර එහිදී ද මෙම අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් නව සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස කරුණු හුවමාරු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිනිය සමග මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

මීට අමතරව සන්ධානයේ දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මෙන්ම ස්වාධීනව කටයුතු කරන බොහෝ   පිරිසක් එක්ව කටයුතු කරන බැවින් ඒ අය දරන මතය සහ ස්ථාවරයන් පිළිබඳ සන්ධානගතව වැඩකටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය.