ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ පක්ෂ සභාපතිවරයාට ධුරයේ කටයුතු කිරීම සඳහා අධිකරණයෙන් වාරණයක් නිකුත් කර ඇති නිසා පක්ෂයේ කටයුතු අඛණ්ඩ ඉදිරියට ගෙන යාම සඳහා විධි විධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවත් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් ලබන 8වෙනිදා උදෑසන 10.00ට මෙම හදිසි රැස්වීම කැඳවන ලෙසයි ඔහු ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ශාන් විජේලාල් ද සිල්වා හැර දේශපාලන මණ්ඩල සෙසු සාමාජිකයින් ඊට කැඳවන ලෙස ද අදාළ ලිපියේ සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිසා සමුලුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් හෙට පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වනවා.