ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සිය අදහස ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසඳීමට සිය කොමිසමට කිසිදු නීතීමය බලයක් නොමැති බවත් පවතින ගැටලු පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් අධිකරණය හරහා විසදාගත යුතු බවත්ය.

වැඩිදුරටත් එම කොමිසම එහිදි සඳහන් කර ඇත්තේ මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සහ පාර්ශ්ව සම්බන්ධයෙන් පවතින අර්බුදය අධිකරණය හමුවේ විභාග වන බැවින් ඉන් ලබාදෙන නියෝග හෝ නිර්දේශ පිළිගැනීමට පමණක් මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවයි.

ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පැවතුණ හොත් ඔවුන්ට නාමයෝජනා ලබාදෙන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදුවන බව ද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් මෙහිදි සඳහන් කර සිටියේය.

මැතිවරණ කොමිසන් සභාව මේ බව සදහන් කර සිටියේ ඊයේ (18) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති තීරණ සහ ලේඛන පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව පත්වීම් සම්බන්ද ලේඛන එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පක්ෂයේම වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද නව පත් කිරීම් සම්බන්ධයෙන් කොමිසම හමුවේ විරෝධතා ගොනු කිරීම සම්බන්ධව මෙලෙස මැතිවරණ කොමිසම රැස්ව ඇති බව වාර්තාවේ.