කිරි අල සහ එළවළු බෝග කිහිපයක් ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ලංකාවේ වැවෙන කිරි අල ඇතුළු බෝග කිහිපයක් විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද මේ සඳහා ඩොලර් මිලියන 295ක් වැය කර ඇතැයි ද පාර්ලිමේන්තුවේදී කෙරුණු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම වාර්තාව ඉල්ලා ඇත.

එම ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව සොයා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කළ නියෝගයේ සඳහන් වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල, සුදු ළුණු, අල, තක්කාලි, පැපොල්, කොමඩු, බෝංචි, අන්නාසි වැනි ආහාර වර්ග ආනයනය කිරීම වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 295ක් වැයකර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.