කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව පවසා ඇත.

පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කර ඇත.

මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම ඉදිරියේදී නිෂ්පාදනය වැඩිකිරීම හරහා රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස් සහ බිත්තර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

කුකුළු පැටවුන් වැඩි වශයෙන් බිහි කිරීම සඳහා අවශ්‍ය මව් සතුන් පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.