එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණඩායම මුහුණදුන් අවසන් තරගයෙන්ද කඩුලු  08ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයද අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.

හරාරේහිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබාදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 48.1 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 243ක් පමණි. කොදෙව් පිළේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ Keacy Carty ලකුණු 87ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 02ක් දවාගත්හ. දසුන් ශානක, මතීෂ පතිරණ සහ සහන් ආරච්චිගේ අතරද එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

අනතුරුව ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.2ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 244ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. එහිදී පිත්තෙන් සාර්ථක වූ පැතුම් නිස්සංක ලකුණු 104ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු  83ක්ද රැස් කළහ.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් දවාගත් මහීෂ් තීක්ෂණට හිමි විය.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අනිද්දා (09) හරාරේහිදී පැවැත්වේ.