චමරි අතපත්තුගේ අනර්ඝ ශතකයත් සමග සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිස්ට ජයක් වාර්තා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ගාල්ල ජාත්‍යයන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 28කට සීමා විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවාර 28ක් අවසනයේ කඩුලු 05ක් දැවී ලකුණු 170ක් රැස් කළහ.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න ලකුණු 159ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් විය. විශ්මි ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගිය අතර, චමරි පන්දු 82කින් නොදැවී ලකුණු 107ක් ලබා ගනිමින් සිය 07වැනි එක්දින ශතකය වාර්තා කළාය. ඇයගේ ඉනිමට හයේ පහර 05ක් හා හතරේ පහර 10ක් ඇතුළත් විය. තරගයේ වීරවරිය සම්මානයද චමරි අතපත්තුට හිමි විය.