එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත අතර අද පැවැති තරගයෙන් ලකුණු 82ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

බුලවායෝහි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 අවසානයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 245කි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 63ක් රැස් කළ අතර, අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට ස්කොට්ලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය වෙනුවෙන් Chris Greaves කඩුලු 04ක් සහ Mark Watt කඩුලු 03ක් දවාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 29 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 163ක් පමණි. ස්කොට්ලන්තය වෙනුවෙන් Chris Greaves ලකුණු 56ක් රැස් කළේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් දවාගැනීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයද මහීෂ්ට හිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි 06 වටයේ පළමු තරගය එළඹෙන 30වැනිදා නෙදර්ලන්තය සමග පැවැත්වේ.