සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (V.O.P) නිකුත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) සඳහන් කර ඇත.

මේ අතර පුහුණුවීම් සහ වෙනත් අවශ්‍යතා සදහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

එමෙන්ම විදේශ පුහුණුවෙන් පසු මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරයකු බවට මෑතදී පත්වුණු 250 දෙනකුගෙන් 50දෙනකු රැකියා සඳහා විදේශගතව තිබෙන බව සඳහන් වේ.

මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත් නොදන්වා ගියපු අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රියන්ත අතපත්තු මහතා ප්‍රකාශ කර ඇත.

මෙසේ විදේශගතවූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත් එම ලිපිය නිකුත් කර මාසයකදී නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ නියෝගය නිකුත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.