එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද මෙම හමුව සඳහා එක්වී ඇත.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙන අත​ර ඔවු​න් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කර ඇති බව කියා පවසා ඇත.

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහාය හිමි වන බව ප්‍රකාශ කර තිබේ.