ඩයනා ගමගේගේ මන්ත්‍රීධුරය අහිමි වූ පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූරත් අහිමි වන බව ඩයනා ගමගේ ප්‍රකාශ කර ඇති බවත් කිසිසේත් එවැනි දෙයක් සිදුනොවන බවත් සමගි ජනබලවේගයට සභාපතිවරයෙක් සහ මහලේකම්වරයෙක් සිටින නිසා එතුමියට කිසිදු බලපෑමක් සමගි ජනබලවේගයට හෝ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුට සිදුකිරිමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසයි.

අද (09) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මේ බව සඳහන් කළේය.

එහිදී එ බව සඳහන් කරමි​න් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසා සිටියේ,

‘‘ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ගොනු කර තිබූ පෙත්සමේ අවසන් තීන්දුව ලබාදීලා තිබෙනවා. ඒ තීන්දුව සමඟ අධිකරණය පිළිබඳව තිබුණ විශ්වාසය තවත් වැඩිවුණා.
ඒ වගේම ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා එතුමියගේ මන්ත්‍රීධූරය නැතිවුනා වගේම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූරත් අහිමි වෙනවා කියලා. ඩයනා ගමගේ මහත්මිය මොනවා ප්‍රකාශ කළත් පක්ෂයට සභාපතිවරයෙක් සහ මහලේකම්වරයෙක් සිටිනවානම් එතුමියට කිසිදු බලපෑමක් සමගි ජනබලවේගයට හෝ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුට සිදුකරන්න බෑ. ඩයනා ගමගේ මහත්මිය බොරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් පෙන්වලා සමගි ජනබලවේගයත් නොගම යවලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කරලා කූඨ ලේඛන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට අධිකරණයේ නඩුවක් ගොනු කරන්න පුළුවන්. අවසානයේ රැවටුනේ සමගි ජනබලවේගය නෙවෙයි ඩයනා ගමගේ මහත්මියයි. ඒ වගේම රාජ්‍ය ඇමැතිවරයික් ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් වරප්‍රසාද , දීමනා සියල්ල රජයට ගෙවිය යුතුයි.‘‘