ජනක රත්නායක මහතාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක්ම සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමඟි ජන බලවේඟයේ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනෙකු  ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවට ද සදහන් වේ.

මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයන් සමඟ සාකච්ඡා කර යෝජනාවට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කරන බවට සහතික වී ඇති බව ද වාර්තා වේ.

මේ අතර හෙට (24)  දිනයේදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගි වන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ලිඛිතව දැනුම් දී  තිබේ.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී  මන්ත්‍රිවරුන්ට අදාළ  කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇත.

එම දැනුම් දීමට  අනුව විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති බවද වාර්තා වේ.

රැස්වීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද ක්‍රියා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහන් කර ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල හෙට 24 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මහජන විරෝධී හැසිරීම හේතුවෙන් ඔහු මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති තනතුරින් ඉවත් කිරීමට පසුගියදා තීරණය කෙරිණි.

එමෙන්ම ඔහුට එරෙහිව විභාග වූ නඩු තීන්දු දෙකකදීම ඔහුගේ හැසිරීම මහජන විරෝධී බවට මෙයට පෙර අධිකරණය විසින් සනාථ කර තිබුණි.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි‍.