ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද ආරම්භ වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00ට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වී තිබේ. ඒ අනුව දෙවැනි ටෙස්ට් ලෝක ශූරයන් කවුරුන්ද යන වග තවත් දින කිහිපයකින් තීරණය වීමට නියමිතය.

2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09ක් සහභාගී වෙමින් පැවැති ටෙස්ට් තරග ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසකම් ලබා ගත්තේය.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් අනාවැකි පළකළ ඇති අතර, ඒ පිළිබඳ මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින්, පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් යන තිදෙනාම පවසා ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාව දිනා ගන්නා බවයි.
ඉන්දීය හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසා ඇත්තේ තරගයේ මුලින්ම වාසි අත්කරගන්නා කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බවයි.

මෙම තරගයේ කාලගුණ වාර්තා අනුව පළමු දින හතර තුළ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයට තද හිරු රැස් පතිත වන වාර්තා කර ඇත. කෙසේ නමුත් තරගයේ පස්වැනි දිනයේදී වළාකුළින් බර අහසක් තිබීමට ඉඩ ඇති බවත්, එදින සවස් වරුවේ යම් වර්ෂාවක් ඇති වීමට ඉඩ පවතින බවත් කාලගුණ අනාවැකි වාර්තා පවසයි. මේ හේතුවෙන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තවත් අතිරේක දිනයක් ඒ වෙනුවෙන් වෙන් කර තැබීමට පියවර ගෙන තිබේ.

පළමු ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයේදීද පළමු දිනයට වර්ෂාවෙන් බාධා වූ නිසා අතිරේක දිනය දක්වා තරගය පැවැත්වීමට සිදු විය. ඒ අනුව තරගය පැවැත්වීමට නියමිත දින පහෙන් එක් දිනක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුවහොත් සහ දින පහ තුළ තරගයේ තීරණයක් නොලැබුණහොත් මෙම අතිරේක දිනය භාවිතයට ගැනීමට අවස්ථාව හිමි වේ. එම දින 06 තුළදීද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් හෝ සම වීමකින් තරගය අවසන් වුවහොත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සම ශූරයන් ලෙස නම් කිරීමට නියමිතය.