බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විනාඩි 20ක් පමණ බන්ධනාගාරයේ ගත කර තිබේ.

අනතුරුව සමවිත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බියගැන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුළු අනෙකුත් මුදාහැරීමේ කොන්දේසිවලට එකඟවීමෙන් පසු ඔහු මුදා හැර ඇති බව සඳහන් වේ.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිදු වරදක් සිදුකර නොමැති බවය.

මේ අතර බන්ධනාගාරයේදී සිරකරුවන් පෙනීසිටින ඡායාරූපයට (mugshot) හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පෙනීසිට තිබූ අතර විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් එම ඡායාරූපය වාර්තා කර තිබුණි.

එම ඡායාරූපය හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුදාහැර තිබුණි.