‘තැල්ල බදින්නත් බෙල්ල තියෙන්න ඕන , බලය දෙන්න කලින් මැතිවරණ තියන්න’ යැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත.

මැතිවරණ නොතියා බලය ලබා දෙන්න සූදානම් බවත් එම අවස්ථාවට පැමිණි සියලු පක්ෂ මැතිවරණ තියන්න ඉල්ලීම් කර බවත් ඊයේ දින කැඳවූ එම සර්වපාක්ෂික හමුවේ කිසිදු අරමුණක් නැති බවත් විපක්ෂ නායක කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද සදහන් කර තිබේ.

ජනාධිපතිවරයා ඊයෙ (26) සර්වපාක්ෂික හමුවක් කැඳෙව්වා. අපිට මතකයි එතුමා මීට මාස 7කට ඉස්සරවෙලත් සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. එහිදී මම දන්නේ නැහැ මාස හතකට පස්සේ නැවත කැඳවන්න හේතුව මොකක්ද කියලා .අවංක චේතනාවෙන් සද්භාවයෙන් කැදෙව්ව ද, නැතිනම් කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට හෝ ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන කැඳෙව්ව ද කියලා ප්‍රශ්නයක් තියෙනවා .

එතුමා ඊයේ දින කතා කරේ දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කරන එක ගැන නමුත් එය මීට අවුරුදු 6කට ඉස්සරවෙලා 1987 දී පාර්ලිමේන්තුවෙන් එය සම්මත වුණා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම්වලට එහි කාර්යභාරයක් නැහැ. දැන් තියෙන්නේ විධායකයට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට එය ක්‍රියාත්මක කිරීම පමණයි.මම හිතනවා ජනාධිපතිවරයාට ඒ සදහා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද 13ට එහා ගිය 13 (+)ප්ලස් එකක් දෙනවා කිව්ව මහින්ද රාජපක්ෂ මහත්මයා ගේ කණ්ඩායම තමයි ජනාධිපතිවරයාත් එක්ක අද කටයුතු කරන්නේ. එහිදී ජනාධිපතිවරයා එතනින් අදහස් කරන්නේ මොකක්ද? දහතුන්වන සංශෝධනය මූලිකව උතුරු නැගෙනහිර ඇතුළු සියලු ප්‍රදේශවල ජනතාවට ලබලා දුන්නේ පළාත් සභා ක්‍රමයෙන් තමන්ගේ පළාත තමන් පාලනය කර ගැනීමේ අවස්ථාවක් විදියට. එහිදී අපි ජනාධිපතිවරයාට කියන්න කැමතියි දැන් තමුන්නාන්සේ ගේ ගිය කාලයේ තිබුණු පාලනය යටතේ සහ මේ පාලනය යටතේ අවුරුදු හයක් පළාත් සභා මැතිවරණය තියලා නැහැ. අපි අහනවා ඇයි හේතුව කියලා .අලුත් ක්‍රමයකට තියන්න සීමා නිර්ණය කරන්න දීලා තියෙනවා. එහිදී ප්‍රධාන විපක්ෂය විදියට අපි කියන්න කැමතියි පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ද පැහැදිලි කළා පළාත් සභා මැතිවරණය කොහේ හරි හිර වෙලා තියෙනවා නම් සීමානිර්ණ පරක්කු වෙනවා නම් පරණ අනුපාත ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න අපි කැමැත්ත ප්‍රකාශ කළා. එසේනම් නැවතත් අපි කියනවා පළාත් සභාව පරණ ක්‍රමයට තියන්න අවශ්‍ය වෙන්නේ සරල බහුතරයක් විතරයි. අපි ප්‍රධාන විපක්ෂය විදියට සූදානම් සරල බහුතරයෙන් ඒ ප්‍රශ්නය විසඳගෙන පළාත් සභා මැතිවරණය තියන්න. ජනාධිපතිවරයාට අපි කියනවා මේ බලය සම්බන්ධව කතා කරන එක, එක කාර්යයක් නමුත් ඉස්සරවෙලා පළාත් සභා මැතිවරණය තියන්න කියලා.