අද (27) කොළඹ මහාධිකරණය විසින්, බාලවයස්කාර ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් චීවරධාරියෙකුට, අත්හිටවූ සිරදඬුවම් සහිතව රුපියල් ලක්ෂ 06ක වන්දියක් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියෝග කරන ලදි
එනම් මෙහිදී, බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සහ බාලවයස්කාර සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් වෙන් වෙන් වශයෙන් අදාළ නඩු පවරා තිබුණ බවයි වාර්තා වන්නෙ..

අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ චීවරධාරියාට එරෙහිව ගොනුකර තිබූ එක් නඩුවක් කැඳවීය. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු තමන්ට එල්ලවී තිබෙන චෝදනා තුනටම වරද පිළිගන්නා බවයි.

ඒ අනුව අදාළ චෝදනා තුනටම විත්තිකරුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට මාස 18ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට නියෝග කල අතර, ඊට අමතරව රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල අගතියට පත් පාර්ශ්වයට ගෙවන ලෙසත් නියෝග කෙරුණි.

එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3,000ක දඩයක් ද නියම කරනු ලැබූ බවයි වාර්තා වෙන්නේ.