පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 222ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු විය.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේ සංචාරක පාකිස්තානයයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේදී ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 410ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 188ක් පමණි.

එහිදී ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63ක් ලබාගත් අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් ලකුණු අතරට පැමිණියේ නැත.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 07ක් නෝමන් අලී විසින් දවාගත් අතර නසීම් ශාහ් විසින් අනෙක් කඩුලු 03 දවා ගත්තේය.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 05ක් දැවී ලකුණු 563ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5ක් දැවී ලකුණු 576 ක් ලබා සිටියදීයි.

පාකිස්තානය වෙනුවෙන් අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201ක් සහා ආගා සල්මන් නොදැවී ලකුණු 132ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් බිද හෙළීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි.

එහිදී ධනංජය ද සිල්වා ලකුණු 57ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකුණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙළීය.

තරගයේ වීරයා සම්මානය අබ්දුල්ලාහ් ශෆික් විසින් දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය ආගා සල්මන්ට හිමි විය