ජනාධිපතිවරණයකදී රටේ සියලු ජනතාව නියෝජනය වන විපක්ෂයක් විසින් ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත් වන්නැයි ආරාධනා කළහොත් ඒ පිළිබඳව සිතා බැලිය හැකි නමුත් දෙමළ ජනතාව පාර්ශ්වයෙන් පමණක් ජනාධිපති පොදු අපේක්ෂකයෙකු වශයෙන් තමන් කිසිදු අවස්ථාවක ඉදිරිපත් නොවන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

දෙමළ ජනතාව පාර්ශ්වයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ගෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කර තිබූ ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

දෙමළ ජනතාවට ඔවුන්ට ම අනන්‍යවූ අභිලාෂ ඇති බව ලෝකයට හුවා දැක්වීමට එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පාර්ශ්වයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි කරනු ලබන යෝජනාව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

දෙමළ පොදු අපේක්ෂකයෙකු පිළිබඳව තීරණය කිරීමට හදිසි නොවන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ප්‍රකාශ කර ඇති බව පැවසූ සුමන්තිරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ද පවසා ඇත.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා යාපනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.