පලස්තීනයට සාමය රැගෙන ඒමට ඇමරිකාවට බල කෙරෙන සාම පාගමනක් අද (17) පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සහ ලෝක යුද විරෝධී සන්ධානය  විසින් සංවිධානය කර තිබුණා.

ආරක්ෂක අංශ විසින් කොල්ලූපිටිය මංසන්ධියේදී එම පාගමන අවහිර කරනු ලැබූ අතර එහිදි ආරක්ෂක අංශ සහ සාම පා ගමනට පැමිණ සිටි සාමකාමී මිනිසුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, ලෝක යුද විරෝධී සන්ධානයේ සභාපති රාජිත අබේගුණසේකර, පූජ්‍ය පාහියන්ගල හාමුදුරුවෝ, ඇතුළු හය දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමුවීම සඳහා රැගෙන ගියා.

දේශීය මාධ්‍ය මෙන්ම විදේශීය මාධ්‍යකරුවන් විශාල ප්‍රමාණයක් එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ලිබර්ටි වටරවමේ රැඳී සිටියා.

ලිඛිත සංදේශය බාරදීමෙන් අනතුරුව පැමිණි රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස මාධ්‍ය සහ පැමිණ සිටි සාමකාමී උද්ඝෝෂකයන් දැනුවත් කලා.

” ඇත්තටම මේ වෙලාවේ අපි කියන්න ඕනේ අපි මේ ඉතාම සාමකාමී පා ගමනක් සංවිධානය කළේ. මේක සංවිධානය කළේ ලෝක යුද විරෝධී සන්ධානය යටතේ එම නිසා කඩාකප්පල්කාරී ක්‍රියා හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අපිට කිසිම උවමනාවක් නැහැ. ආරක්ෂක අංශ විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට යාමට නොදී ගුණ සාමකාමී පෙළපාලිය මග නතර කිරීම අපි හැමෝම හෙළා දකිනවා.”

” ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලයලත් නිලධාරියෙකු විසින් අපගේ සංදේශය බාර ගනු ලැබුවා. මම සහ සර්ව ආගමික පූජකයන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රාලය වෙත කෙරෙන යුධ ආධාර නවත්වන ලෙසයි. තවද පලස්තීනයේ දින දින අනාත වන පලස්තීන වැසියන් වෙත වහා සාමය ගෙන එන ලෙසයි. සංඛ්‍යා දත්ත අනුව පලස්තීනයේ මේ වන විට වැටී ඇති දරුණු ආගාධය පිළිබඳව අප විසින් ඔවුන්ව දැනුවත් කරනු ලැබුවා ” යැයි රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

” බලවත් රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන් හුදකලා කර මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මුලිනුපුටා දැමීම පිළිබඳව කිසිසේත් අපි සතුටු වෙන්නේ නැහැ. මෙතනට පැමිණ සිටින හැමෝම වගේම බහුතරයක් දෙනා යුද්ධයට විරුද්ධයි. ඊශ්‍රායලයේ පලස්තීනය හෝ, යුක්තයෙන් රුසියාව හෝ, ආමිනියාව අසර්භාජනය හෝ යුද්ධය යුද්ධයමයි. එයින් අසරණ වන මිනිසුන් මොන රටක උනත් මිනිසුන්මයි. ඒ සියල්ලම වෙනුවෙන් ඔබ හැමෝගෙම සහයෝගයෙන් මේ ලෝක යුද විරෝධී සංවිධානය අපි ශක්තිමත් කළ යුතුයි. පාට පක්ෂ ජාති ආගම් බේද නැතුව කළු සුදු භේද නැතුව මානවවාදී මිනිසුන් ලෙස අපි අපේ යුතුකම ඉටු කරමු යැයි ” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සර්ව ආගමික නියෝජිතයින්, සිවිල් සංවිධාන මෙන්ම, බහුජන සංවිධාන, පුද්ගලික සමාගම් වල සේවකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රදේශීය සභා පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, දේශීය මෙන් විදේශීය මාධ්‍ය ආයතන රැසක් මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටියා.