ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසිය.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට විශාල කලබලයක් තිබුණද, අද වනතුරු ඇතැම් කොමිසන් සභා පත් කිරීම සම්පූර්ණ වී නොමැතිවීමත් අති බරපතල ප්‍රශ්නයක් බවත් එය කාගේත් වගකීම බවත් අගමැතිවරයා සදහන් කළේය.

එමෙන්ම මත්ද්‍රවය ජාවාරම මැඩලීම සඳහා රජය, ඉන්දියාවේද සහය ඇතිව නවීන තාක්ෂණයද යොදාගනිමින් තොරතුරු රැස්කර, අඛණ්ඩ වැඩපිළිවෙළක් යොදා ඇතැයිද, ඒ සඳහා තදබල ක්‍රියාමාර්ග වෙත ආරක්ෂක අංශ අවතීර්ණය වී ඇතැයිද ඔහු අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඇතැම් කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරී තිබෙන නගරවල මත්ද්‍රව්‍ය පැතිරීම ගැන තොරතුරු ඇති නිසා, මෙම තත්ත්වය පාලනය සඳහා නීතිරීතිද තදබල ලෙස වෙනස් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසිය.

“පොලිස්පතිතුමාගේ විශ්‍රාමයාම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා. ඒ දිගු කිරීම දැන් හමාර වී පොලිස්පතිධූරය පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාල බලධාරීන් වෙත කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරනු ලබයි. ඒ අනුව ඉතාම ඉක්මනින් ඔබතුමා කියන පැය 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්වයක් නෑ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන DIG ලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත්කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාමත් ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදු වීම සිදුවෙයි.”