මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

‍මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවට මෙතෙක් පොහොර මිලදී ගැනිමේ වවුචර්පත් නිකුත් නොකිරීම සම්බන්ධව මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි.

එම කරුණු සම්බන්ධව අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර වවුචර්පත් මෙතෙක් ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට නොලැබීම සම්බන්ධව ඇමතිවරයා කරුණු විමසනු ලැබීය.

පොහොර වවුචර්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා කිසිඳු හේතුවක් නොමැති බවත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර තිබෙන බැවින් කිසිඳු ප්‍රමාදයකින් තොරව වවුචර්පත් ලබාදීමට හැකි බවත් ඇමතිවරයා අවධාරණය කර ඇත.

එම නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙකුත් දිස්ත්‍රික්කවල ද කිසියම් ප්‍රදේශයක ගොවි ජනතාවට මෙතෙක් වවුචර්පත් ලැබී නොමැති නම් එහි වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වවුචර්පත් බෙදාහැරීම සම්බන්ධව කටයුතු කරන ප්‍රාදේශීය නිලධාරීන් භාරගත යුතු බවද ඔහු පවසා තිබේ.

වවුචර්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීම සඳහා කිසියම් නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇත්නම් ඔවුන්ට විරුද්ධව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හෙතෙම ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

එමෙන්ම මෙම කාරණය සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසත් වවුචර්පත් ප්‍රමාද වීම මෙන්ම මුදල් ගිණුම්ගත කිරීම ද ප්‍රමාද වී ඇත්නම් ඒ සම්බන්ධවත්‍ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් කෘෂිකර්ම ඇමතිවරයා දැනුම් දී තිබේ.

නිර්මාණි ගුණරත්න