එළඹෙන බදාදා (12) ජාතික රෝහලේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසා ඇත.

සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුළු ජාතික රෝහලේ මතුව ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

එමෙන්ම  මේ වන විට රෝහල් සතුව ඇති ස්කෑන් යන්ත්‍ර ඇතුළු සෞඛ්‍ය උපකරණ රැසක් අක්‍රිය වී ඇති බවත් රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රෝහල් වල ඇති CT ස්කෑන් යන්ත්‍ර 44න් 12ක් අකර්මන්‍ය වී ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම ලීනියා ඇක්සලරේටර් යනු මෙරට ඇති, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන නවීන ක්‍රමවේදයක් වන අතර එම ප්‍රතිකාර සඳහා වෙන්වූ යන්ත්‍ර 10ක් රෝහල් පද්ධතිය සතුව ඇති බවත් සඳහන්ය.

නමුත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මහනුවර රෝහලේ යන්ත්‍ර දෙක ක්‍රියා නොකරන බවද එම සංගමය සඳහන් කර ඇත.

එමෙන්ම අපේක්ෂා රෝහලේ යන්ත්‍ර 5න් එක් යන්ත්‍රයක් බිඳ වැටීම හේතුවෙන් කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම ගැටලු සහගත වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් පවසා තිබේ.