2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කණ්ඩායම අයි.සී.සී.ය මගින් අද ප්‍රකාශයට පත් කළා. ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු තෝරාගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඊට ඇතුළත්. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින් මෙම කණ්ඩායමට නම් කර ඇති අතර, ඊට නෙදර්ලන්තය නියෝජනය කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන වික්‍රම්ජිත් සිං, බාස් ඩී ලීඩ් සහ නායක ස්කොට් එඩ්වර්ඩ් කණ්ඩායමට ඇතුළත් කර ඇත.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ වීරයා වන ෂෝන් විලියම්ස්, සිකන්ඩර් රාසා සහ රිචඩ් නගරවා එම කණඩායමට නම් කර ඇති අතර, ස්කොට්ලන්තය නියෝජනය කරමින් බ්‍රැන්ඩන් මැක්මුලන් සහ ක්‍රිස් සෝල් එම කණ්ඩායමට නම් කර තිබේ.

මෙම කණ්ඩායම නම් කිරීමේ ජූරි සභාව නැටලි ජර්මනොස් සහ බ්‍රයන් මුර්ගට්‍රොයිඩ් (විචාරක නියෝජිතයන් ලෙස), ෆිර්දෝස් මූන්ඩා (මාධ්‍ය නියෝජිතයා ලෙස), ඇලෙක්ස් වෝෆ් (තරග නිලධාරීන්ගේ නියෝජිතයා ලෙස) සහ හැමිල්ටන් මසකඩ්සා (තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස) යන පුද්ගලයන්ගෙන් සමන්විත විය.

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කණ්ඩායම
1. පැතුම් නිශ්ශංක (ශ්‍රී ලංකාව)
2. වික්‍රම්ජිත් සිං (නෙදර්ලන්තය)
3. බ්‍රැන්ඩන් මැක්මුලන් (ස්කොට්ලන්තය)
4. ෂෝන් විලියම්ස් (සිම්බාබ්වේ)
5. බාස් ඩී ලීඩ් (නෙදර්ලන්තය)
6. සිකන්දර් රාසා (සිම්බාබ්වේ)
7. ස්කොට් එඩ්වර්ඩ්ස් (නෙදර්ලන්තය)
8. වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)
9. මහේෂ් තීක්ෂණ (ශ්‍රී ලංකාව)
10. ක්‍රිස් සෝල් (ස්කොට්ලන්තය)
11. රිචඩ් නගාරාවා (සිම්බාබ්වේ)