වගාවන්ට විශාල වශයෙන් හානි කරවන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය  ගනු ලබන කවර පියවරකට වුවත් තමන්ගේ උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම පරිදි මේ වනවිට ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් නොයෙකුත් විවේචන එල්ල කළත් තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා විරෝධය පළ කරන කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් තම ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ගොවි සංවිධාන පවසයි.

මේ අතර සත්ව සුබසාධන කටයුතු සඳහා කටයුතු කරන සංවිධානයක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වනසත්ව හානි අවම කර ගැනීම සඳහා සෑම ගොවිමහතෙක්ම තමන් වගා කරන බිමෙන් අක්කර භාගයක් සතුන්ට ආහාර පිණිස වෙන් කරන්නේ නම් මෙම සත්ව හානි අවම කර ගත හැකි බවය.

කෙසේ වුව ද චීනය විසින් රිළවුන් සත්වෝද්‍යානවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් එ සදහා වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුනේ කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශ තුනම එක් අමාත්‍යාංශයක් වශයෙන් පැවැති අවස්ථාවේය.

නිර්මාණි ගුණරත්න