ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ. ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී මෙම මස 28වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණු තරගාවලියක් ලෙස බොට්ස්වානා රාජ්‍ය සමග තරග 04ක් එම රටේදී ක්‍රීඩා කරන අතර, එම තරග එළඹෙන 18වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වේ. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 25වැනිදා දකුණු අප්‍රිකාවට ළඟාවීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය 28වැනිදා ජැමෙයිකාව සමග පැවැත්වෙන අතර, 29වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමග තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ අවසන් තරගය 30වැනිදා වේල්සයට එරෙහිව පැවැත්වේ.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගයාංජලී අමරවංශට හිමිව ඇති අතර, උපනායකත්වය දුලාංගි වන්නිතිලක හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මෙනවිය කටයුතු කරන අතර, සහාය පුහුණුකාරිනිය ලෙස පී.ඩී.එන්. ප්‍රසාදි මහත්මිය කටයුතු කරයි.

ශ්‍රී ලංකා දැල්පන්දු ලෝක කුසලාන සංචිතය

ගයාංජලී අමරවංශ(නායිකා), දුලංගි වන්නිතිලක (උපනායිකා), තිසාලා අල්ගම, සේමිණී අල්විස්, රශ්මි දිව්‍යාංජලී, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞශල්‍යා, තර්ජිනී සිවලිංගම්, භාෂිනි යෝෂිත ද සිල්වා, ශානිකා පෙරේරා.

අතිරේක – රුක්ෂලා හපුආරච්චි, ඉමාෂා පන්නිලගේ, චමුදි වික්‍රමරත්න