මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ දක්වා එළිදැක්වීමට අයි.සී.සී.යට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් අයි.සී.සී. නිලධාරියෙකු වන Geoff Allardice පවසා සිටියේ හැකි ඉක්මනින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශ කරන බවයි.

තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත නමුත් තරග පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ පිළිබඳ නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැත. 2019 වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන කාලසටහන තරගාවලිය ආරම්භ වීමට මාස 13කට පෙර නිකුත් කළ අතර, 2015 වසරේ පැවැති එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන මාස 18කට පෙර නිකුත් කිරීමට අයි.සී.සී.ය පියවර ගෙන තිබුණි.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 05වැනිදා සිට නොවැම්බර් 19වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. කෙසේ වෙතත් එහි නිල තරග කාලසටහන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අතරතුර නිකුත් කරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ.ශා මීට පෙර ප්‍රකාශ කර තිබුණද Geoff Allardice මේ පිළිබඳ කිසිදු කාලසීමාවක් ප්‍රකාශ කළේ නැත.

 

කවිඳු කාරියවසම්