පාකිස්ථානයේ ලාහෝර් නගරාධිපතිගේ ග්‍රහණයෙන් සිය ආදරණීය බිරිඳ “සකීනා” මුදා ගැනීමෙන් වසර 22කට පසුව “තාරා සිං” නැවතත්, පාකිස්ථාන් හමුදා කඳවුරක සිරගත ව, වධ බන්ධනයන්ට ලක්වෙමින් සිටින සිය තරුණ පුත්‍රයා “ජීත්” බේරා ගන්නට ලාහෝරයට යාමට සුදානම් වන බව බොලිවුඩයෙන් වාර්තා වනවා. ඒ, බොලිවුඩ් සිනමා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ Gadar: Ek Prem Katha (2001) චිත්‍රපටයේ දෙවන දිගහැරුම (Sequel) වන Gadar 2: The Katha Continues චිත්‍රපටයෙන්.

Period: Action: Romance ශානරයේ චිත්‍රපටයක් වුණු Gadar, 2001 වසරේදී තිරගත වුණේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳහෙලමින්. නිෂ්පාදනය කළ කාලයට සාපේක්ෂව ඉන්දියානු රුපියල් කෝටි 18ක දැවැන්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ඉපයූ ආදායම ඉන්දියානු රුපියල් බිලියන 1.33ක්. All time Blockbuster චිත්‍රපටයක් ලෙස නම්කර ඇති Gadar, ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹු (Highest footfalls) දෙවැනි හින්දි භාෂාමය චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක් වනවා. හින්දි සිනමාවේ පතාක යෝධයෙකු ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර ඩියෝල්ගේ පුත් සනී ඩියෝල් (තාරා සිං) සහ අමීෂා පටේල් (සකීනා) ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය (අෂ්රෆ් අලී) නිරූපණය කළේ අම්රිෂ් පූරි විසින්.

ප්‍රධාන නිළි චරිතය සඳහා අධ්‍යක්ෂක වරයාගේ පළමු තේරීම වී තිබුණේ එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි කාජොල්. නමුත්, කාජොල් විසින් එය ප්‍රතික්ෂේප කරීමෙන් පසු, එම චරිතයට සුදුසු නිලියක සොයා තරුණියන් 500ක් පමණ තිර පරීක්ෂණයට ලක් කරන ලද බව වාර්තා වනවා. අවසානයේ එම චරිතය අමීෂා වෙත හිමි වුවද, මවකගේ භූමිකාවක් සහිත එම චරිතය එවකට ඉතා ලාබාල නිලියක වූ ඇයට නිරූපණය කිරීමට නොහැකිවනු ඇති බව බොහෝ දෙනා පවසා තිබුණා. චිත්‍රපටය භාර ගත හොත් අමීෂාගේ චිත්‍රපට දිවිය එයින්ම නිමා වනු ඇති බවත්, ඇය යොදාගැනීමෙන් පසු චිත්‍රපටය Gadar නොව “Gutter” ලෙස හැඳින්වීම වඩා සුදුසු බවත් ඇතැමුන් ප්‍රසිද්ධියේම පැවසූ බව අමීෂා පටේල් මෑතක දී පවසා තිබුණා. සුපිරි නළු ආමිර් ඛාන් රඟ පෑ Lagaan චිත්‍රපටය සමගම තිරගත කිරීම ඇරඹූ Gadar වැඩි දිනක් ගතවන්නට පෙර සිනමාහල් වලින් ඉවත් කෙරෙනු ඇති බවටද අනාවැකි පළ කර තිබුණත් Gadar අති සාර්ථක ලෙස තිරගත වූයේ එම සියළු අනාවැකි පුස්සක් බවට පත් කරමින්. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ උත්තම් සිං ගේ සංගීතයෙන් හැඩවූ Gadar මතකයේ රැඳෙන ගීත කිහිපයක් සිනමාවට දායාද කළ චිත්‍රපටයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ.

1947 දේශ සීමා අර්බුද පැවති සමය පාදක කරගනිමින් නිර්මාණය වූ Gadar: Ek Prem Katha තිරගත කිරීමෙන් හරියටම වසර 20ක් ගත වූ 2021 දී එහි දෙවැනි දිගහැරුම Gadar 2: The Katha Continues නමින් නිර්මාණය කිරීමට සූදානම් බව එහි නිෂ්පාදන සමාගම වන Zee Studio නිවේදනය කර තිබුණා. Gadar හි 22වන සංවත්සරයට සමගාමීව Gadar 2 චිත්‍රපටයේ ටීසරය මුදා හැරුණු අතර, එහි පූර්ව ප්‍රචාරක පටය මුදා හැරුණේ 2023 ජුලි 26 වන දිනයේ දී.  Gadar 2 නිර්මාණය වී තිබෙන්නේ 1971 ඉන්දු පාකිස්ථාන යුද්ධය පැවති සමයේ සිදුවීම් පාදක කර ගනිමිනුයි. පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රංගන ශිල්පීන් එම චරිතවලින්ම වසර 22කට පසු දෙවන චිත්‍රපටයේදී දැක බලාගන්නට ලැබීම ප්‍රේක්ෂකයින්ට විශේෂ අත්දැකීමක් වනු ඇති අතර. “තාරා සිං” සහ “සකීනා” යුවලගේ පුතු වූ “චරන් ජීත් සිං” ලෙස රඟපෑ සත් හැවිරිදි උත්කර්ෂ් ශර්මා හටද එම චරිතයම නිරූපණය කිරීමට හැකි වීම සුවිශේෂයි. උත්කර්ෂ් යනු චිත්‍රපට ද්විත්වයේම අධ්‍යක්ෂවරයා වන අනිල් ශර්මාගේ පුත්‍රයා බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. Gadar 2: The Katha Continues පිළිබඳ අදහස සනී ඩියෝල්ට පැවසූ මුල් අවස්ථාවේ ඔහු මෙම චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ අදහසට තරයේ විරුද්ධ වූ බව සඳහන්. සනී පවසා ඇත්තේ, Gadar වැනි චිත්‍රපටයක් ඉතිහාසයේ නිර්මාණය කළ හැක්කේ එක් වරක් පමණක් බවයි. තමාගේ දැඩි ඉල්ලීම නිසා අවසානයේ චිත්‍රපටයේ කතාවට සවන් දීමට සනී ඩියෝල් කැමැත්ත පළකර තිබූ අතර, සංවේදී වූ ඔහු කඳුළු සලමින් ඊට සවන් දුන් බව අනිල් ශර්මා පවසා තිබුණා.

Gadar දෙවැන්නේ රංගන ශිල්පීන් දෙස බැලිමේ දී රසික ඔබට විශාල අඩුවක් දැනෙනු ඇති. ඒ ප්‍රතිවීර චරිතය වූ අෂ්රෆ් අලී ගේ චරිතය නිරූපණය කළ අසහාය නළු අම්රිෂ් පූරි. ඒ වෙනුවට ඔබ හමුවට එන්නේ “මේජර් ජනරාල් හමීඩ් ඉක්බාල්” චරිතයට පණ පොවන මනීෂ් වාධ්වා. Gadar 2 හි ට්‍රේලරය නිකුත් කරන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මනීෂ් කියා සිටියේ තමා නොව, තමා වැනි සියයක් ඉපදුනත් අම්රිෂ් පූරිගේ අසහාය රංගන පෞර්ෂයට සමකළ නොහැකි බවයි. තවද, තරුණ “චරන් ජීත් සිං” ගේ පෙම්වතිය වන “මුස්කාන්ගේ” චරිතය තෙළිඟු චිත්‍රපට නිළියක් වන සිම්රත් කෞර් විසින් නිරූපණය කරන අතර, ප්‍රවීණ නළු නානා පටේකාර් ද Gadar 2 චිත්‍රපටයට පසුබිම් කථනයෙන් දායක වන බව සඳහන්.

Gadar 2: The Katha Continues හි සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම ගායකයෙකු ද වන මිතුන් විසින්. පළමු චිත්‍රපටයේ ඇතුළත් වූ ජනප්‍රිය ගීත දෙකක්ම නැවත නිර්මාණය කොට මෙම චිත්‍රපටයට ඇතුළත් කර තිබෙනවා. උදිත් නාරායන් සහ අල්කා යාග්නික් ගැයූ අතිශය ජනප්‍රිය ගීතයක් වන “Udja Kale Kawaan” ගීතය ඔවුන්ගේ හඬින්ම නැවත නිර්මාණය කර ඇති අතර, ජුලි 29 දින Youtube වෙත මුදා හරින ලද එම ගීතය නැරඹුම් වාර මිලියන 68ක් ඉක්මවා තිබෙනවා. එලෙස එක්කළ අනෙක් ගීතය වන්නේ උදිත් නාරායන් ගැයූ “Main Nikla Gaddi Leke” ගීතයයි. “තාරා” සහ “ජීත්” පිය පුතු යුවළගේ ගායනයක් ලෙස නාවත නිර්මාණය කර ඇති එම ගීතය උදිත් සහ ඔහුගේ පුත් ආදිත්‍යනාරායන් විසින් ගායනා කරන්නේ නවමු අ්තදැකීමක් රියයන්ට සමීප කරවමින්. මීට අමතරව තවත් මියුරු ගීත කිහිපයක්ම චිත්‍රපටයේ අඩංගු වන අතර, සමපූර්ණ ගීත ඇල්බමයද මේ වන විට නිකුත් කර අවසන්.

අධ්‍යක්ෂක අනිල් ශර්මා විසින්ම නිෂ්පාදනය කරන Gadar 2 චිත්‍රපටයේ පිරිවැය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ. නමුත්, එය ඉන්දියානු රුපියල් කෝටි 100ක් පමණ වන බවයි පැවසෙන්නේ. මිනිත්ත්‍ර 170ක දීර්ඝ ධාවන කාලයක් සහිත Gadar 2 චිත්‍රපටයේ ටිකට් පත් වෙන් කිරීම (Advance bookings) සඳහා ඉහළ ප්‍රේක්ෂක උද්යෝගයේ පවතින බව වාර්තා වනවා. ඒ අනුව, ඉන්දියානු රුපියල් කෝටි 20ක ඉක්මවූ මුල් දින ආදායමක් පහසුවෙන් ලබා ගනු ඇති බවට අනාවැකි පළ වුවත්, අගෝස්තු 10 නිකුත් වීමට නියමිත සුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් රඟන Jailer චිත්‍රපටය Gadar 2 හට දැවැන්ත අභියෝගයක් වනු ඇති. Gadar 2: The Katha Continues චිත්‍රපටයට ඉතිහාසය නැවත ලියන්නට හැකි වේද? එය දැනගන්නට නම් ඔබට අගෝස්තු 11 තෙක් ඉවසන්නට සිදු වෙනවා.

උමේෂ් ද සිල්වා