විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර ප්‍රකාශ කර ඇත.

විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඔහු එහි සදහන් කර තිබේ.

සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බව ද ඔහු පවසා ඇත.

කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපැයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති අතර දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බව ඔහු සඳහන් කර ඇත.

විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා නිකුත් කළ හැකි උපරිම ජලය පිළිබඳ විකල්ප අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.