ඉන්දීය කණ්ඩායමේ වත්මන් ටෙස්ට් නායක රෝහිට් ශර්මාගෙන් පසුව හිටපු නායක විරාට් කෝලිට නැවත ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලබාදිය යුතු බව හිටපු ඉන්දීය තේරීම් කමිටු සභාපති කෙනෙකු වන M.S.K. ප්‍රසාද් විසින් යෝජනා කර තිබේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම, ඕස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයෙන් අනතුරුව වත්මන් ඉන්දීය නායක රෝහිට් ශර්මාගේ නායකත්වය පිළිබඳ වාද විවාද ඇති විණි. එමෙන්ම එළඹෙන ටෙස්ට් ලෝක ශූරතා තරග වාරය අවසන් වනවිට රෝහිට් ශර්මාට වයස අවුරුදු 38ක් වීමට නියමිත බැවින් නව නායකයෙකු පත්විය යුතු බව බොහෝ අයගේ මතයයි.

කෙසේ නමුත් රෝහිට් ශර්මාගෙන් පසුව ඉන්දීය නායකත්වය භාරදෙන්නේ කාටද යන්නත් ගැටලුවක් වී තිබේ. මීළඟ ටෙස්ට් නායකයා වීමට බොහෝදුරට අවස්ථාව තිබූ වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක් වී සිටින අතර, රිෂාබ් පාන්ට්ද රිය අනතුරින් පසුව තවමත් ක්‍රිකට් පිටියට පිවිසුණේ නැත.

මෙම වාතාවරණය මත ඉන්දීය ටෙස්ට් නායකත්වය නැවතත් හිටපු නායක විරාට් කෝලිට ලබාදිය යුතු බව හිටපු ඉන්දීය තේරීම් කමිටු සභාපති M.S.K. ප්‍රසාද් ඇතුළු පිරිසක් පවසයි