සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අනුව තරග 03කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් පරාජයට පත්කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කරමින් වේගවත් ලකුණු 140ක් නොදැවී වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හැකි විය. චමරිගේ මෙම ශතකයට හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහර 09ක් ඇතුළත් විය.

මෙම ඉනිමේදී චමරිට අනගි සහයක් ලබාදුන් නිලක්ෂි ද සිල්වා නොදැවී 48ක් ලබාගත් අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 23.2කදී නොබිඳුණු ලකුණු 190ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර

ඒ අනුව ඔවුන් පන්දුවාර 31කදී කඩුලු 02ක් දැවී ලකුණු 127ක් ලබා සිටියදී ක්‍රීඩාංගනයට වර්ෂාව අද හැලුණු අතර, පසුව
පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට පිරිනැමීය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම හිමි කරගත්තේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුයි.

මේ අතර මෙම එක්දින තරගාවලිය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාව අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.