කොළඹ කාසල් රෝහලේදී පසුගිය 15 වැනිදා උපත ලද සය නිවුන් බිළිඳුන් අතරින් එක් බිළිඳකු අද (18) මියගොස් ඇත.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම බිළිඳාගේ පෙනහළු වෙත රුධිරය ගලායෑම නිසා මරණය සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම බිළිඳුන් සයදෙනාම ළදරු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර ඊයේ (17) පවසා ඇත.

එම බිළිඳුන්ගෙන් පස්දෙනකු කාසල් රෝහලේත් අනෙක් බිළිඳා කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව ළමා රෝහල වෙත යවන ලද බිළිඳා මෙසේ මියගොස් ඇතැයි වාර්තා වේ.

එම දරුවන්ගේ උපත් බර ග්‍රෑම් 400 – 700ත් අතර වන බවත්, එවැනි දරුවෙක් ජීවත් කරවීම වෛද්‍ය කාර්ය මණ්ඩලයට විශාල අභියෝගයක් බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත.